Showing posts with label ක්‍රියාකාරී ඇදහිල්ල. Show all posts
Showing posts with label ක්‍රියාකාරී ඇදහිල්ල. Show all posts

Thursday, September 20, 2012

උත්සව පැවැත්වීම

කිතුනුවන් නොයන මඟ යන මාතෘකාව යටතේ පසුගිය සතියේ මා ලිපියක් ලීවෙමි. එය නොගැළපෙන සම්බන්ධකම්  ගැන බයිබලයේ සඳහන් දේ ගැන කෙටියෙන් පවසයි. අද අපි තවත් කාරණාවක් වෙත අවධානය යොමු කරමු.

අපගේ ජීවිතයේ අමරණීය අවස්ථා බොහෝමයක් ඇත. උපන් දිනය, විවාහ දිනය, විවාහ සංවත්සරය, දරු උපත යන මෙම අවස්ථා සඳහා බොහෝ අය උත්සව පවත්වති. ඊට අමතරව ව්‍යාපාර උසස් වීමක් ලද අවස්ථාවක්, ජාතික කණ්ඩායමකට තෝරනු ලැබූ අවස්ථාවක්, විභාගයකින් සමත්වීම, ව්‍යාපාරයකට විශාල කොන්ත්‍රාත්තුවක් ලැබුණු අවස්ථාවක් ආදී දේ ගැන ප්‍රීතිවීම සඳහා බොහෝ අය යාලුමිත්‍රාදීන් සමඟ මෙවන් දේ කරති.

මේ කිසිවක් වැරදි යයි කිව නොහැක. නමුත් ක්‍රිස්තු භක්තිකයා උත්සව පැවැත්වීමේදී දෙවියන්වහන්සේට මූලික් තැන දිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. විවාහ උත්සව බොහෝමයක් සමරන්නේ තමන්ගේ ආගම හා බැඳුනු චරිත්‍ර අනුගමනය කිරීමෙනි. මෙය සෑම ආගමකින්ම කරයි. නමුත් උත්සවයක් පැවැත්වීමේදී සැබැවින්ම ක්‍රිස්තියානි මිනිසුන් අනුගමනය කළ යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාවන්ද?

සැබැවින්ම අද ක්‍රිස්තියානි මිනිසුන් තමන්ගේ උත්සව පවත්වන්නේ දෙවියන්වහන්සේට නිගා කරමිනි. ලෝකයට පෙනෙන සේ යාච්ඤා කර ආරම්භ කරන උත්සව පසුව දැඩි ලෞකිකත්වයට හැරෙයි. බෝතලයට සෙට් වෙන සමූහයා කටින් පිටවන වචන කෙරෙහි වත් අවධානය යොමු කරන්නේ නැත. තමන් ශරීරය තුළට ඇද දමන දේ කිතුනුවකු විසින් කර යුතුදැයි මොවුහූ සොයන්නේ බලන්නේ නැත.

කාන්තා පාර්ශවය එක් වී විවේචන සභාව අරඹයි. සියල්ලෝම සංගීතයට ඇලුම් වී නටන්නට සෙට් වෙයි.

නමුත් අපගේ සවන් යොමු කරන්නා වූ සංගීතයේ වචන වලට කිසිම දිනක අවදානය යොමුකර තිබෙනවාද? ඉරුදින දෙවියන්ට ප්‍රශංසා ගීත උච්චාරණය කරන කටින්ම උත්සව සංගීතයේදී ලෞකිකත්වය හා අසීලාචාරකම ගැන උදම් අනයි.

දෙමව්පියන්ගේ හැසිරීම දරුවන් ආදර්ශයට ගන්නා බව දන්නේ නැද්ද? උත්සව සාදයට මෙම නීතිය බලපායි. දෙවියන්වහන්සේ, දෙමව්පිය දරු සබදතාවයේ කර්තෘ ය. දෙවියන්වහන්සේ මිනිසාට දක්වන්නාවූ ප්‍රේමය පෙන්වීමට ලෝකයට දී ඇති උදාහරණය දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයයි. එළෙසම දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය මිනිසුන්ට ඉගැන්වීමට උන්වහන්සේ, දෙමව්පියන් දරුවන්ට දක්වන්නාවූ ජීවිත ආදර්ශය යොදාගනී. එමනිසා මෙම ආදර්ශය කෙළෙසා ගන්නා දෙවියන්වහන්සේ විනිශ්චයට ලක්වේ.

උත්සව පැවැත්වීම ලොවට කියා දුන්නේද දෙවියන්වහන්සේමය. ලෙවී කථාවේ 23:1-44 දක්වා ඇති කොටස දෙවියන්වහන්සේගේ දරුවන් පැවැත්විය යුතු උත්සව ගැන සඳහන් වේ. මීට අමතරව කිසිඳු උත්සවයක් උන්වහන්සේගෙන් නොපැමිණේ.

එසේනම් දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබෙන ආකාරයේ උත්සව පවත්වන්නට අප කල යුතුදේ බයිබලයෙන් බලමු.  මෙය අනුගමනය කල යුත්තේ කිතුනුවෝ පමණි. මෙය අනුගමනය කරන්නන් පමණක් කිතුනුවෝ වෙති.

ආරාධිත අමුත්තෝ...

"ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් පිළියෙල කරන කළ, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හා පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේම ඔබ කැඳවනු ඇත. එයින් ඔඅබට එහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන කල දිළිඳුන්ද, අබ්බගාතයන්ද, කොරුන්ද, අන්ධයන්ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහිය. ධර්මිෂ්ඨයන්ගේ පුනර්ජීවනයේදී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේය" යයි යේසුස් වහන්සේ කී සේක (ශු.යොහාන් 14:12-14)

කථා කරන අයුරු...

එකිනෙකාට බොරු නොකියන්න (කොලොස්සි 3:9)

අශික්ෂිත, මෝඩ කථා හා නීච කවටකම් යන මේවත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න (එපීස 5:4)

කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර. අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිතව මනහර වචන කතාකරන්න. ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න (එපීස 4:29-30)

විනෝද විය යුතු අයුරු...

තව දුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව දේව කැමැත්ත ලෙස ජීවත්වන්න... අනාචාරකමින්ද, සල්ලාලකමින්ද, මත්කමින්ද, අශෝභන උත්සව වලින්ද, මධුපානෝත්සවවලින්ද... ජීවත් නොවන්න (1 පේදුරු 4:2-6)

අවසන් වශයෙන් කීතුනු ඔබ යේසුස් වහන්සේගේ මේ අනතුරු ඇඟවීම අමතක නොකරන්න. "ඔබ පොළොවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒව ඉවත දමනු ලබන්නටද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස කිසිවකුට සුදුසු නැත" (ශු. මතෙව් 5:13)

Friday, September 14, 2012

අලියා නොයන මඟ

අලියා නොයන මඟ කුමක්ද? මෙය ප්‍රසිද්ධ තේරවිල්ලකි. ඔබගෙන් මෙම තේරවිල්ල කවුරුන්හෝ අසා නැත්නම් එය මදක් පුදුමයට කරුනකි.

කිතුනුවකුට මෙම තේරවිල්ල අපි හරවා බලමු. මෙය ඇත්තටම හාස්‍යමය ප්‍රශ්නයකි. නමුත් කිතුනු ජීවිතයට, කිතුනු සාක්ෂි දැරීමට වැදගත්වේ. එසේනම් කිතුනුවා නොයන මඟ කුමක්ද? ඇත්තටම කිතුනුවා නොයන මඟ යයි පැවසීම වැරදිය. කිතුනුවෝ හා කිතුනුවෝ යයි පවසාගන්නෝ යනු හාත්පසින්ම වෙනත් කොට්ඨාශ දෙකකි.

නමුත් කිතුනු බහුතරය නොයන මඟ නම් දෙවි මඟයි. එනම් දේව කැමැත්ත කිරීමයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත මිනිසාගේ කැමැත්ත නොවේ. පාපයට වැටෙන දුර්වල වූ මිනිසා යහපත පවා කරන්නේද තමන් යහපත් බව ලොවට පෙන්වීමටය.

සියල්ලෝම තම තමන්ගේ කාර්යන් ගැන මිස ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති (පිලිප්පි 2:21)

මෙම ලිපිය කිතුනු අපි සැමටම (මා ද ඇතුලත්ව) යහපත උදෙසා ධෛර්යමත් කිරීම සඳහාය.

කිතුනුවන් යයි කියාගන්නා අපි හැමෝම පිළිනොපදින බයිබල් පද බොහොමයක් වේ. ඉන් කිහිපයක් පහත ගෙනහැර දක්වමි. අපි අපෙම සිත් සෝදිසි කරගනිමු. වෙනත් අය විනිශ්චය නොකරමු. විනිශ්චය භාර දෙවියන්වහන්සේට පමණි. නමුත් කිතුනු පවුල එකිනෙකා යහපත උදෙසා ධෛර්යමත් කළ යුතු බව බයිබලය පවසයි (1 තෙසලෝනික 5:11).

නොගැළපෙන සම්බන්ධකම් 

නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම් වලින් නොබැඳෙන්න... එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක්ද?.. අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මන්දිර වෙමු (2 කොරින්ති 6:14-18). 

මෙම පද කොටස බොහෝ අය විවාහය හා ආදර සම්බන්ධතා සඳහා පැවසුවද, මෙය එයට පමණක් සීමා නොවේ. නොඇදහිලිවතුන් සමඟ හවුලේ ව්‍යාපාර හෝ වෙනයම් ඕනෑම බැඳීමක් ඇති කරන ක්‍රියාවක් කිරීම සම්බන්ධව මෙම බයිබල් කොටසින් තහනම් කරයි.

තවද නොඇදහිලිවන්තයා යනු අන්‍ය භක්තිකයන් වන නමුත් ඔවුන් පමණක් මෙයට සීමා නොවේ. නමට පමණක් ක්‍රිස්තියානි වන සියලු දෙනා, එනම් කිතුනු පසුබිමකට උපන් නමුත් නැවත ආත්මිකව නූපන් (ගැළවීම නොලත්) තැනැත්තාද නොඇදහිලිවන්තයෙකි. සැබැවින්ම අන්‍ය භක්තිකයාට වඩා නාමික කිතුනුවා භයානකය.

නොඇදහිලිවතුන් සමඟ විවාහ වන්නට තීරණය කර ඇති බොහෝ දෙනා නිදහසට කාරණාවක් ලෙස පවසන්නේ නොඇදහිලිවන්තයා හෝ අන්‍ය භක්තිකයාව කෙසේ හෝ කිතුනුවකු කරන ලෙසටයි. මීට බොහෝ තර්ක ඇත. නමුත් ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔබ සියල්ලට වඩා දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාද යන්නයි? දෙවියන්වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරන්නා උන්වහන්සේට විශ්වාසවන්තව සිටීයී. උන්වහන්සේ අපගේම යහපතට නීති දෙන බව විශ්වාස කර උන්වහන්සේට කීකරුවේ.
"මට වඩා පියාටවත්, මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ", යේසුස් වහන්සේ කී සේක (මතෙව් 10:37-38).
"මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද, මට ප්‍රේම කරන්නේ ඔහුය"... "මට ප්‍රේම නොකරන්නා මාගේ ආඥා නොපිළිපදියි"... යේසුස් වහන්සේ කී සේක (ශු. යොහාන් 14:21, 24). 
තමන්ගේම නුවණෙහි නොපිහිටා මුළු සිතින්ම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයකදීම සමිඳුන් සිහි කරන්න. උන්වහන්සේ ඔබට හරි මඟ පෙන්වනු ඇත (හිතෝපදේශ 3:5-6) 
"නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන, මාගේ යෝජනා මම හොඳින් දනිමි", මෙසේ පවසන්නේ දෙවියන්වහන්සේය (යෙරමියා 29:11)
ඉඳින් අප තවත් කුමක් කෙරෙහි බිය වෙමුද? තව කුමක් කෙරෙහි සැක සහිත වෙමුද? විශ්වයත් එහි සියල්ලත්, ජීවයත් ජිවී සියල්ලත් බිහිකල සර්වබලධාරී දෙවියන්වහන්සේට කුමක් කල නොහැකිද?

"ඇද්ද නොහැකි දෙයක් ස්වාමින්ට? ඇද්ද නොහැකි දෙයක් ස්වාමින්ට?
නෑ නොහැකි දෙයක්, නෑ නොහැකි දෙයක්
නෑ නොහැකි දෙයක් ස්වාමින්ට"  

මීළඟ කොටස ලබන සතියට...

Monday, August 13, 2012

බොරු දැහැමිභාවය

නුඹලා අතරෙහි ප්‍රඥාවන්තවූ තේරුම් ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. නුමුත් නුඹලාගේ සිත්වල තිත්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදීකමද තිබේ නම්, පාරට්ටු කරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය. (යාකොබ් 3:13-16)


බොහෝ ආගමික භක්තිවතුන් ලොව වෙතත්, එයින් බහුතරයක් සිටින්නේ කටින් බතල හිටවන්නෝය. මමත් මේ ගැන වැරදිකරුවෙකු වෙමි.

මිනිසුන් සියල්ලෝම සිතින් ඒකාකාරය. ඔවුන් සිතන්නේ ඔවුන් ගැනමය. ආගමික සුදු රෙද්දක් පිටින් පොරවාගෙන ලෝකයට දැහැමි යයි පෙන්වන්නට බොහෝ අය කැමතිවේ. අප කොපමණ හොඳ දැයි පෙන්වන්නට සියල්ලෝ වෙර දරති. නමුත් දෙවියන්වහන්සේ මිනිසුන්ගේ දුෂ්ට සිත් හොඳින් දන්නා සේක. පිටස්තර ක්‍රියාවලට සීමා වූ යහපත්කම දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුල්ය.

පිටින් භක්තිවන්තයා අන් අය කෙරේ ඊර්ෂ්‍යාව සහිත වීම ඉතාමත් දූෂිතය. තවද පක්ෂවාදිකම, එනම් එක් පිරිසකට එක් ආකාරයකටත්, තවත් තරාතිරමක පිරිසකට තව ආකාරයටත් සැලකීම සැබෑ ධර්මිශ්ඨකම නොවේ. මෙවන් නපුරු ආත්මාර්ථකාමි සිතුවිලි ඇතුව ඕනෑම ආගමිකයකු භක්තිවන්තයෙකු යයි කිව නොහැක. එම නිසා බොරුව නොකරන්න. "ජේසු පිහිටයි!" කටින් කියමින් සිතින් තමන් ගැන පමණක් සිතීම අත් හරින්න.


දෙවියන් වහන්සේ ප්‍රසන්නවන ස්වර්ගික පුරවැසියකුගේ හැසිරීම මෙසේ බයිබලය සඳහන් කරයි. "ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත්, යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදීව, අවංකව තිබේ. (යාකොබ් 3:17)

එසේනම් කිතුනුවනි මෙවන් ධර්මිෂ්ඨකමක් අත්කර ගැනීමට අප සියල්ලෝම අද සිට උත්සාහ කරමු.

Monday, June 18, 2012

ඔබ සැබෑ කිතුනුවෙක්ද?

ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ උපන්නේ කිතුනු යයි කියන පවුලක නිසා ඔබ ක්‍රිස්තියානුවෙක්ද? නැතහොත් ඔබ දේව වචනය අසා විශ්වාස කොට පසුතැවී, යේසුස්වහන්සේව ඔබේ පෞද්ගලික ගැළවුම්කාරයාණෝ ලෙස පිළිගෙන ඔබගේ ජීවිතයේ ස්වාමීත්ව උන්වහන්සේට දී තිබෙනවාද? නැත්නම් ක්‍රිස්තියානි කියන්නේ ඔබට තවත් එක් ආගමක් පමණද?

සැබැවින්ම කිතුනුවකු කියා ඔබට කියාගැනීමට අයිතිය තිබෙනවාද?

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. (නික්මයාම 20:7)


මෙම ලිපිය විශේෂයෙන්ම ක්‍රිස්තියානි නාමය දරන්නෝ වෙත ආමන්ත්‍රණය කරමි. මීට මා ද අයත් වේ. කිතුනු ජීවිතයට අදාල කරුණු කිහිපයක් සිහි කිරීම තුලින් ඔබගේ හා මාගේ ක්‍රිස්තියානි කම ගැන අවදානය යොමු කරන්නට කැමැත්තේමි.

ගැළවීම 

ඔබගේ ගැළවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? යේසුස් වහන්සේ මිනිසා පාපයෙන් ගළවා ගන්නට මෙලොවට පැමිණි බව ඔබ විශ්වාස කරනවාද? 

ඔබ එසේ පිළිගන්නකු නොවේ නම්, ඔබ කිතුනුවෙකු නොවේ. ඔබව රවටා නොගන්න. ඔබගේ ඉරණම සුභදායී නොවේ. ඔබ යේසුස් වහන්සේ ගැන සත්‍ය දැනගත යුතුමය.

උන්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් හැටියට පිළිගෙන තිබෙනවාද? එය ඔබ නිසැකව විශ්වාස කරනවාද? එසේනම් ඔබ යේසුස් වහන්සේ ගැන කී දෙනෙකුට කියා තිබෙනවාද? සැබැවින්ම යම් කිසි රෝගයකට සාත්තු කර හැකි හොඳ වෛද්‍යවරයෙකු ඔබ දන්නවා නම්, එම රෝගයෙන් පෙළෙන ඔබේ හිතවතෙකුට ඔහු ගැන කියනවා නොවේද? එසේනම් පාපයේ අවසන් ප්‍රතිඵලය දන්නාවූ ඔබ, එයින් සුවය ලැබීම ගැන එය නොදත් ඔබේ හිතවතුන්ට නොකියන්නේ මන්ද?

නිදහසට ඇත්තේ කාරණා දෙකක් පමණි.

1. ඔබ යේසුස්වහන්සේගේ ගැළවීමේ ගැඹුර හරි හැටි නොදන්නා නිසාය. එසේනම් ඔබගේ ගැළවීම සැක සහිත පමණක් නොව, එය අවලංගුය! මෙය භයානක තත්වයකි.

2. නැතහොත් තවත් කෙනෙකුට යේසුස් වහන්සේ ගැන කීමට ලැජ්ජාව.
යමෙක් මා ගැනත් මාගේ වචනය ගැනත් ලැජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදුතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වන සේක (ශු. ලූක් 9:26)

යාච්ඤාව 

ඔබගේ යාච්ඤාව මොනවගේද? ඔබ යාච්ඤා කරන්නේ මොනවා ගැනද?
නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත (යාකොබ් 4:3)
යාච්ඤාවට ඔබේ උනන්දුව කෙසේද?
නුඹලා පරික්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නමුත් මංසය බෙලහීනය (ශු. මතෙව් 26:41) 
යාච්ඤා කරන විට ඔබට නිදිමත හැදෙනවාද? ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබගේ උනන්දුව ගැන සාක්ෂියයි. ඔබ නොකඩව යාච්ඤා කරනවාද? (1 තෙසලෝනික 5:17) යාච්ඤාවට උනන්දුවක් නැත්නම්, එය යාච්ඤාවේ බලය ගැන විශ්වාසයක් නැති බව පෙන්නුම් කරයි.
සැක නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා; මක්නිසාද සැක කරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙළවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය (යාකොබ් 1:6-8)

අපේක්ෂාව

ඔබගේ දැඩි අපේක්ෂාව කුමක් සඳහාද? ධනවත් වීමද, ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමද, හැමෝගේම ආදරය ප්‍රසාදය දිනාගැනීමද, රූප සුන්දරියක් විවාහ කර ගැනීමද, ක්‍රිකට් තරුවක් සහකරුවෙකු කර ගැනීමද? සැබැවින්ම බයිබලය කියවන්නා කුමක් සඳහා අපේක්ෂා කළ යුතුද?
ආත්මික දීමනාවලට ආශාවෙන්න (1 කොරින්ති 14:1)
ප්‍රඥාවේ වචනය (Wisdom), දැනගැනීමේ වචනය (knowledge), ඇදහිල්ල (Faith), සුවකිරීමේ දීමනාව (Healing), ආශ්චර්ය කිරීම (Miracles), අනාගතවාක්‍ය කීම (Prophecy), ආත්මවල් විමසීම (Distinguishing spirits), නානා වර්ග භාෂා (Tongues), භාෂා තේරුම් කරදීම යන දීමනා කිතුනුවන්ට කොපමණ අවශ්‍යද?

නමුත් කිතුනුවෝ කී දෙනෙක් මෙම දීමනා උදෙසා යාච්ඤා කරනවාද? ඔබ අත තබා යාච්ඤා කරවිට කෙනෙකු සුව වනවා දකින්නට ඔබ කැමති නැද්ද? දෙවියන්වහන්සේට දේවදූත භාෂාවකින් ප්‍රශංසා කිරීමට ඔබ අකමැතිද? කිතුනු නොවන්නෙකුගේ හිතේ ඇති සැඟවුණු ප්‍රශ්නයක් ඔහුට එළිදරව් කර දෙවියන්වහන්සේගෙන් ඔහුට උපකාර ලබාදීමට ඔබ අකමැතිද? මෙවන් දේ ඔබ ඉල්ලුවහොත් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට එම දීමනා දෙන්නට සතුටින් බලා සිටීයි. යමක් උවමනා අය එය ඉල්ලිය යුතුය. එසේනම් ආත්මික ලොවේද එහි වෙනසක් නැත.

ආඥා රැකීම

ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරනවාද? මේක උතුම් වූ පළමුවෙනිවූ ආඥාවය. නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ඔබ ප්‍රේමකරනවාද? මෙය කිතුනු ජීවිතය පදනම් වන ආඥා දෙකයි. ඔබ මේ ආඥා දිනපතා ක්‍රියාත්මක කරනවාද?

බයිබල් අධ්‍යනය


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිශ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමෝති 3:16) එසේනම් බයිබලය අධ්‍යනය නොකරන්නාට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සම්පූර්ණකමට පැමිණිය නොහැක.

මේ ගැන අදම අපි පියවර ගත යුතු වෙමු.

Thursday, May 3, 2012

ක්‍රියාකාරී දේව භක්තිය

බයිබල් පාඨය - 2 ලේකම් 34:1-3 දක්වා

ඔබ ක්‍රියාකාරී කිතුනුවෙක්ද? මොහොතකට අපගේ කිතුනු ජීවිතය පිරික්සමු. ඔබ කිතුනුවකු වූ දිනය, එනම් සැබෑ සිතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැළවුම්කාරයාණන් හා ස්වාමීන් ලෙස පිළිගත් දිනය ඔබට මනකද? එම දිනය අපගේ උපන් දිනයටත් වඩා වැද්ගත්ය.

ඔබ කිතුනු පවුලක ඉපදීමම පමණක් ඇතැයි සිතන්නකු නොවන බව මම සිතමි. කිතුනු පවුලක ඉපදීම ඔබට අශිර්වාදමත් ආත්මික පසුබිමක් සාදනවා මිස, ඔබ දේව දරුකමට ලක් කිරීමට නොහැක. දේව දරුකම හිමිවීමට ඔබ නැවත ඉපදිය යුතුය.

වරක් යේසුස් වහන්සේව රහසිගතව හමුවීමට පැමිණි, දේව ධර්මාචාර්යවරයකුට උන් වහන්සේ මෙසේ පැවසූ සේක. "සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකිය" (ශු.යොහාන් 3:3). දේව ධර්මාචාර්යවරයකුට තත්වය එසේ නම්, ඔබටත් මටත් වන්නේ කුමක්ද? එම නිසා ආත්මයාණන් කරණකොටගෙන නැවත නූපන්නොත් (ශු.යොහාන් 3:5-6), අප දේව දරුවන් ලෙස කියමින් අප අපවම රවටා ගන්නවා ඇත.


මා කෙටියෙන් පැහැදිලි කරේ කිතුනුවෙකු ලෙස ඔබ නැවත උපන්නේද නැත්ද යයි ඔබම සැකයෙන් තොරව වටහා ගන්නා පිණිසය.



දැන් නැවත දවසේ පාඩම. අප සැබැවින්ම කිතුනුවන් වූ දිනය සුමිහිර මතක සටහනකි. නමුත් එදා සිට අද දක්වා අපගේ ආත්මික වර්ධනට කෙබඳුද? 


ඉහත බයිබල් පාඨයේ අපට යොෂියා නම් රජ කෙනෙකු හමුවේ. මොහුගේ පවුල් පසුබිම හා සමඟ සසදන කල ඔහුගේ ජීවිත ගමන් මඟ ගැන ඔහු ගත් තීරණ සුවිශේෂය. යොෂියාගේ පියා දෙවියන්වහන්සේට විරුද්ධව මහත් පාව්කාර ලෙස ජීවතවූ රජ කෙනෙකු විය. ඔහුගේ සීයා ඊටත් වඩා පාව්කාර රාජ්‍ය පාලකයකු විය. මෙවන් පසුබිමක උපන් යොෂියා පුදුමාකාර තීරණයක් කුඩා අවදියේම ගත් බව 2 ලේකම පොතේ ඉතිහාස කර්තෘ වාර්තා කර ඇත.

‍යොෂියා වයස අවුරුදු 8 දී රජකමට පත්විය (2 ලේකම් 34:1). ඔහු ස්වාමීවූ දෙවියන්වහන්සේගේ ඉදිරෙයෙහි හරිව තිබුණ දේ කරමින්, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ ආදි පියෙකු වූ දාවිත් රජුගේ මාර්ගවල හැසුරුණේය (2 ලේකම් 34:2). දාවිත් රජු ගැන අමුතුවෙන් කිවයුතු නැත. 1 හා 2 සාමුවෙල් පොත් වල දාවිත් රජුගේ ක්‍රියා සඳහන් වේ. "මාගේ හිතට එකඟවූ මනුෂ්‍යයෙකු" ලෙස දෙවියන්වහන්සේම දාවිත් රජු ගැන 1 සාමුවෙල් 13:13-14 යන කොටසේ පවසා ඇත. මෙම ගෞරවය ලද බයිබලයේ එකම මිනිසා මොහුය. හොෂියා, දාවිත්ගේ මාර්ගවල හැසුරුණා යයි පැවසීමේ අදහස දැන් ඔබට වැටහෙනවා ඇත.

හොෂියාගේ ඇදහිල්ල ගැන ඔහුගේ ක්‍රියා සාක්ෂි දරයි. ඔහුගේ රජකම්කිරීමේ 8 වැනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, දෙවියන්වහන්සේ සොයන්නට ඔහු පටන් ගෙන ඇත (2 ලේකම් 34:3). මෙය සෑම කිතුනුවෙකුගේම ආරම්භක අවස්ථාවයි. එනම් තමන්ව මව්කුසේ මවන ලද්දාවූ දෙවියන්වහන්සේව සැබෑ සිතින් සෙවීමට පටන් ගැන්මයි.

හොෂියා රජ දෙවියන්වහන්සේව දැනගැන්මට එකල පැවතියේ පරණ ගිවිසුමේ ලියැවිලිය. දෙවියන්වහන්සේ ගැන පැහැදීමට හොෂියා රජට ගත වූයේ වසර හතරක් පමණි. මක්නිසාද ඔහුගේ රාජකාලයේ 12 වන වසරේ, ඔහු හඳුනාගත් දෙවියන්වහන්සේට ගෞරව කිරීමට හොෂියා රජ පියවර ගත්තේය.

2 ලේකම් 34 පරිච්ඡේදය පුරාවට ඔහුගේ කීකරුකම, පසුතැවිල්ල, දේව ප්‍රේමය පිළිබඳ ඔහුගේ ක්‍රියා සාක්ෂි දරයි. ඔහුගේ කීකරුකම රහසක් නොවීය. ජුදා (වත්මන් ඉශ්‍රායලයේ කොටසක්) රාජධානිය සම්පූර්ණයෙන්ම ආත්මිකව පිරිසිදු කිරීමට ඔහු පියවර ගත්තේය.

දැන් අපගේ ජීවිත පරික්ෂා කර ගනිමු. ඔබ  දෙවියන්වහන්සේ හඳුනාගෙන කොපමණ කල්ද? හොෂියාට ඔහුගේ භක්තිය මත ක්‍රියා කිරීමට ගතවූයේ වසර 4 ක් පමණි. ඔහු දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට අවශ්‍ය සියළු දේ දැනගෙන සිටියේ නැත. දැනගත් දේ තුලින් ඔහු ක්‍රියාත්මක විය.

2 ලේකම් 34 පරිච්ඡේදය කියවන්න. ඔහු ඔහුගේ ආත්මික වර්ධනය පමණක් නොව, ඔහුගේ රාජධානියේ වැසියන් ද සැබෑ දෙවියන්වහන්සේ වෙත ලන්කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා ඔහුට කොහෙත්ම පහසු නොවීය. ඔහුගේ පියාත්, සීයාත් ගොඩනඟා තිබූ ජීවිත රටාව හා පසුබිමට ඔහුට සම්පූර්ණයෙන් විරුද්ධවන්නට සිදුවිය.

දෙවියන්වහන්සේ සමඟ බැඳෙන්නාගේ ඉරණම මෙයයි. දේව ප්‍රේමයෙහි සත්‍ය ඔබ වටහා ගත්තේ නම්, ඒ ගැන ඔබ ගත් තීරණ මොනවාද? ඔබගේ දේව භක්තිය රහසක්ද? එසේනම් එය සත්‍යවූ දේව භක්තියක් නොවනු ඇත.  ඔබගේ ජීවිතයේ තවමත් තිබෙන දේව විරෝදී ගතිගුණ ගැන ඔබ ගත් පියවර මොනවාද? අදම ඔබ අධිශ්ඨාන කරගන්න. දෙවියන්වහන්සේ ඔබගේ ශක්තියත්, සමාදානයත් වනු ඇත.

"නුඹලා යුක්තිය පවත්වා ධර්මිශ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්නටත් මාගේ ධර්මිශ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගෙන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයා වාසනාවන්තය" (යෙසායා 56:1-2)