Friday, September 14, 2012

අලියා නොයන මඟ

අලියා නොයන මඟ කුමක්ද? මෙය ප්‍රසිද්ධ තේරවිල්ලකි. ඔබගෙන් මෙම තේරවිල්ල කවුරුන්හෝ අසා නැත්නම් එය මදක් පුදුමයට කරුනකි.

කිතුනුවකුට මෙම තේරවිල්ල අපි හරවා බලමු. මෙය ඇත්තටම හාස්‍යමය ප්‍රශ්නයකි. නමුත් කිතුනු ජීවිතයට, කිතුනු සාක්ෂි දැරීමට වැදගත්වේ. එසේනම් කිතුනුවා නොයන මඟ කුමක්ද? ඇත්තටම කිතුනුවා නොයන මඟ යයි පැවසීම වැරදිය. කිතුනුවෝ හා කිතුනුවෝ යයි පවසාගන්නෝ යනු හාත්පසින්ම වෙනත් කොට්ඨාශ දෙකකි.

නමුත් කිතුනු බහුතරය නොයන මඟ නම් දෙවි මඟයි. එනම් දේව කැමැත්ත කිරීමයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත මිනිසාගේ කැමැත්ත නොවේ. පාපයට වැටෙන දුර්වල වූ මිනිසා යහපත පවා කරන්නේද තමන් යහපත් බව ලොවට පෙන්වීමටය.

සියල්ලෝම තම තමන්ගේ කාර්යන් ගැන මිස ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති (පිලිප්පි 2:21)

මෙම ලිපිය කිතුනු අපි සැමටම (මා ද ඇතුලත්ව) යහපත උදෙසා ධෛර්යමත් කිරීම සඳහාය.

කිතුනුවන් යයි කියාගන්නා අපි හැමෝම පිළිනොපදින බයිබල් පද බොහොමයක් වේ. ඉන් කිහිපයක් පහත ගෙනහැර දක්වමි. අපි අපෙම සිත් සෝදිසි කරගනිමු. වෙනත් අය විනිශ්චය නොකරමු. විනිශ්චය භාර දෙවියන්වහන්සේට පමණි. නමුත් කිතුනු පවුල එකිනෙකා යහපත උදෙසා ධෛර්යමත් කළ යුතු බව බයිබලය පවසයි (1 තෙසලෝනික 5:11).

නොගැළපෙන සම්බන්ධකම් 

නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම් වලින් නොබැඳෙන්න... එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක්ද?.. අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මන්දිර වෙමු (2 කොරින්ති 6:14-18). 

මෙම පද කොටස බොහෝ අය විවාහය හා ආදර සම්බන්ධතා සඳහා පැවසුවද, මෙය එයට පමණක් සීමා නොවේ. නොඇදහිලිවතුන් සමඟ හවුලේ ව්‍යාපාර හෝ වෙනයම් ඕනෑම බැඳීමක් ඇති කරන ක්‍රියාවක් කිරීම සම්බන්ධව මෙම බයිබල් කොටසින් තහනම් කරයි.

තවද නොඇදහිලිවන්තයා යනු අන්‍ය භක්තිකයන් වන නමුත් ඔවුන් පමණක් මෙයට සීමා නොවේ. නමට පමණක් ක්‍රිස්තියානි වන සියලු දෙනා, එනම් කිතුනු පසුබිමකට උපන් නමුත් නැවත ආත්මිකව නූපන් (ගැළවීම නොලත්) තැනැත්තාද නොඇදහිලිවන්තයෙකි. සැබැවින්ම අන්‍ය භක්තිකයාට වඩා නාමික කිතුනුවා භයානකය.

නොඇදහිලිවතුන් සමඟ විවාහ වන්නට තීරණය කර ඇති බොහෝ දෙනා නිදහසට කාරණාවක් ලෙස පවසන්නේ නොඇදහිලිවන්තයා හෝ අන්‍ය භක්තිකයාව කෙසේ හෝ කිතුනුවකු කරන ලෙසටයි. මීට බොහෝ තර්ක ඇත. නමුත් ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔබ සියල්ලට වඩා දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාද යන්නයි? දෙවියන්වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරන්නා උන්වහන්සේට විශ්වාසවන්තව සිටීයී. උන්වහන්සේ අපගේම යහපතට නීති දෙන බව විශ්වාස කර උන්වහන්සේට කීකරුවේ.
"මට වඩා පියාටවත්, මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ", යේසුස් වහන්සේ කී සේක (මතෙව් 10:37-38).
"මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද, මට ප්‍රේම කරන්නේ ඔහුය"... "මට ප්‍රේම නොකරන්නා මාගේ ආඥා නොපිළිපදියි"... යේසුස් වහන්සේ කී සේක (ශු. යොහාන් 14:21, 24). 
තමන්ගේම නුවණෙහි නොපිහිටා මුළු සිතින්ම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයකදීම සමිඳුන් සිහි කරන්න. උන්වහන්සේ ඔබට හරි මඟ පෙන්වනු ඇත (හිතෝපදේශ 3:5-6) 
"නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන, මාගේ යෝජනා මම හොඳින් දනිමි", මෙසේ පවසන්නේ දෙවියන්වහන්සේය (යෙරමියා 29:11)
ඉඳින් අප තවත් කුමක් කෙරෙහි බිය වෙමුද? තව කුමක් කෙරෙහි සැක සහිත වෙමුද? විශ්වයත් එහි සියල්ලත්, ජීවයත් ජිවී සියල්ලත් බිහිකල සර්වබලධාරී දෙවියන්වහන්සේට කුමක් කල නොහැකිද?

"ඇද්ද නොහැකි දෙයක් ස්වාමින්ට? ඇද්ද නොහැකි දෙයක් ස්වාමින්ට?
නෑ නොහැකි දෙයක්, නෑ නොහැකි දෙයක්
නෑ නොහැකි දෙයක් ස්වාමින්ට"  

මීළඟ කොටස ලබන සතියට...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.