Showing posts with label යාච්ඤාව. Show all posts
Showing posts with label යාච්ඤාව. Show all posts

Thursday, August 2, 2012

ආත්මිකව දුර්වල වීම


පසුගිය මාසය තුල මාගේ ආත්මික ජීවිතය බොහෝ ලෙස දුර්වල තත්වයකට පත්ව තිබුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ දෙවියන්වහන්සේ සමඟ මා ගත කරන්නට වූ කාලය අඩුවීමයි.

බයිබල් අධ්‍යනයට වෙන්ව තිබූ කාලය වෙනත් වැඩ කටයුතු නිසා අතපසු වන්නට විය. මෙය දැඩි ලෙස මාගේ මානසික සමාදානයටත්, ප්‍රීතියටත් සෘජුවම බලපෑවේය.


මෙම හේතුව නිසා ලැබෙන සැම අවස්ථාවකම බයිබලය කියවීමට මම උත්සාහය දැරුවෙමි. නමුත් එය සිතූ තරම්ම සාර්ථක නොවීය. ආත්මික ජීවිතයේ වෙනසක් නොවීය. මම සමාදානය අත්දැක තිබුණෙමි. එය පැමිණියේ දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කිරීමෙන් පමණි. නැවතත් එම තත්වය කරා එළඹීමට මා මේ දිනවල දැඩි උත්සාහයක් දරමි.

යාච්ඤාව මාගේ ජීවිතයේ ප්‍රියතම කොටසක් විය. නමුත් ගතවූ පසුගිය මාසය තුල යාච්ඤාවේද මා පසුබසින්නට විය. මෙම දුර්වලකමේ ප්‍රතිවිපාක මාගේ ඇස් ඉදිරිපිටම පෙනෙන්නට විය.

ඊට හේතුව මා බොහෝ අය උදෙසා යාච්ඤා කිරීමට පුරුදුව සිටි බැවිනි. බයිබලයේ දෙවියන්වහන්සේ යාච්ඤා කර යුත්තේ කුමන දේ සඳහා දැයි සඳහන් කර තිබූ සෑම කරුණක් උදෙසා මා යාච්ඤා කරේ ඉතාමත් ප්‍රීතියෙනි. යාච්ඤාවේ කල් ගත කරන්නාවූ සියල්ලෝ මාගේ අත්දැකීම ලබා ඇති බව නිසැකය. එය සැබෑ ප්‍රීතියක් ගෙන දෙන කාලයකි. නමුත් මාගේ යාච්ඤා කාලය අඩුවෙත්ම මා යාච්ඤා කිරීමට පෙළඹුනේ මා ගැන පමණි. මෙය ආත්මාර්ථකාමී බව මා හට පැහැදුනේ බොහෝ දිනකට පසුවය. මෙයින් මිදීමට මාගේ උත්සාහ නැවත අන් අය උදෙසා පමණක්ම යාච්ඤා කිරීමයි.

සහෝදර කිතුණුවනි! කිසිදා මෙම තත්වයට ඔබ නොපැමිණේවා යයි මා දෙවියන්වහන්සේගෙන් ඉල්ලමි. කිසි දිනක මෙම තත්වයට ඔබ නොපැමිණෙන පිණිස වග බලාගන්න. දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන්නට අමතක නොකරන්න. උන්වහන්සේ අපව බිහිකර ඇත්තේ ඒ සඳහාය. මෙලොව කිසිම දෙයක් සදාකාලික නැත. සියල්ල පවතින්නේ දේව ආශිර්වාදත් ප්‍රීතියත් ඇතුව දේව දරුවා ජීවත්වන පිණිසය. නමුත් ඒ කිසිවකට දෙවියන්වහන්සේ හා ඔබ අතරට පැමිණෙන්නට ඉඩ නොදෙන්න.

මේ කෙටි ලිපිය ඔබට යම් කිසි ආකාරයකින් ධෛර්යයක් වේවා.

Tuesday, June 19, 2012

ශාරීරික සුවය


ඊයේ යාච්ඤාවකට ලද පිළිතුරක සාක්ෂියක් බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් නිසා මාගේ මිතුරකු උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඊයේ සවස් භාගයේදී මා මෙම තැනැත්තා හමුවන විට 102.2 ට ශරීර උෂ්ණත්වය වැඩිව තිබුණි. මා ඊයේ උදෑසන මෙම බ්ලොග් අඩවියේ ලියූ ලිපිය මතකයට මට නැඟිනි.

අත තබා මෙම පුද්ගලයාට යාච්ඤා කිරීමට මට සිතුණි. බයිබලයේ සඳහන් මුල් කිතුනුවන් හට මෙසේ යාච්ඤාව තුලින් වෙනත් අයට සුවය දීමට හැකි විය. තවද යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝළයන්ට යාච්ඤාව හා දෙවියන්වහන්සේගෙන් ඉල්ලන දේ ගැන තිබෙන්නාවූ ඇදහිල්ල මත පිළිතුරු ලැබෙන බව නිතරම ප්‍රකාශ කළ සේක (මතෙව් 9:29).

අද කිතුනුවෝ බහුතරය මෙසේ යාච්ඤාව තුලින් සුවවීම ගැන උනන්දුවක් නොදක්වයි. හාස්කම් මෙහෙයන් සංවිධානය කරන දේශකයන්ගේ යාච්ඤා මඟින් සුවය ලැබීම ගැන බොහෝ අයගේ ඇදහිල්ලක් ඇත. නමුත් තමුන්ටම යාච්ඤා කිරීමෙන් මෙම සුවය ලබා දීමට හැකිද නැත්ද ගැන සැකයක් මොවුන් තුල පවතී. එම නිසා උත්සාහ කරන්නේද නැත.

යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක. "අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේය. ඔවුහූ මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂා වලින් කථා කරති; සර්පයින් අතින් අල්ලා ගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට ඔවුහු සුවය ලබති" (ශු. මාක් 16:17)

මේ යේසුස් වහන්සේගේ වචන බව අප කී දෙනෙක් විශ්වාස කරනවාද? එසේ නම් කිතුනු අප බෙලහීනව සිටින්නේ මන්ද? සෑම විටම අපට ප්‍රතිඵල ලැබෙන්නේද නැත්ද යන්න දන්නේ දෙවියන්වහන්සේ පමණි. අපගේ ඇදහිල්ල අපම පරික්ෂාකර ක්‍රියාත්මක නොකරොත් අපගේ ඇදහිල්ල මියැදෙනු ඇත.

මෙය දෙවියන්වහන්සේ පරික්ෂා කිරීම සමඟ පටලවා නොගන්න. එසේ කිරීම පාපයකි.

නමුත් යේසුස් වහන්සේ තුල අපට යහපත කිරීමට දී ඇති බලය ගැන අපි උනන්දු විය යුතුය.


සාක්ෂියේ අවසානය මේය. මා අත් තබා යාච්ඤා කර මේ තැනැත්තා අභියස බයිබලය කියවන්නට විය. විනාඩි 30ක් වත් ගත නොවුනි. ලෙඩව ඇඳෙහි ඇල වී සිටි මේ තැනැත්තා එක වරම ඇඳෙන් නැගිට ගෙදොර වැඩ කිරීමට පටන් ගත්තේය.

ඔබට දැන් කුමක් දැනෙන්නේ දැයි මා මේ තැනැත්තාගෙන් ඇසුවෙමි. කිසිම රෝගී තත්වයක් නොදැනෙන බව මොහු මා හට පැවසුවේ රෝගීව සිටිය බව අමතක වූ ලෙසටය. මම දෙවියන්වහන්සේට මුළු හදින් ප්‍රශංසා කරමි. උන්වහන්සේ මා වැනි නොවටින කෙනෙකුගේ යාච්ඤාවට කන් දුනි.

ඔබත් කිතුනුවෙකු ලෙස ඔබගේ ඇදහිල්ල පරික්ෂා කරගත යුතුමය. නැතහොත් කාලයත් සමඟ ඔබගේ කිතුනු ගමන ඇල්මැරෙනු ඇත.

Monday, May 7, 2012

දෙවියන් වහන්සේගේ කැමැත්ත

බයිබල් පාඨය: මතෙව් 6:5-14


ස්වාමීන්ගේ යාච්ඤාව බොහෝ කිතුනුවෝ කටපාඩමින් දන්නාවූ බයිබල් කොටසකි. නමුත් එය තේරුම්ගන්නාවූ අය ඉන්නේ කීයෙන් කී දෙනාද?


ස්වාමීන්ගේ යාච්ඤාව තුල මා ඇතුළු බහුතරයක් කිතුනුවෝ මඟ හරින්නාවූ කොටසක් ගැන අවධානය යොමු කිරීමට මම සිතුවෙමි. මීට හේතුව නම් පසුගිය සතිය තුළ මටත් මාගේ බිරිඳටත් පවුලක් හැටියට මුහුණ පෑමට සිදුවූ කුණාටුවක් නිසාය.


බොහෝ කිතුනුවන් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ තමන්ගේ මනසේ සීමාවට යටත්වය. මමද මෙම දුර්වලකමට යටත් වේ. බොහෝ විට දෙවියන්වහන්සේ අපගේ උවමනා එපාකම් පමණක් සැපයීමට සිටින බව මිනිසුන්ගේ විශ්වාසයයි. මෙය පොදුවේ බොහෝ මිත්‍යා ආගම්වල මිනිසා මවාගත් දෙවිවරුන්ගේ එකම කාර්යයයි. 


ඔබගේ රාජ්‍ය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළොවේද ඉටුවේවා (මතෙව් 6:10) යයි ස්වාමීන්ගේ යාච්ඤාවේ සඳහන් වන පදය ගැන අප කී දෙනෙක්ගේ අවධානය යොමුවනවාද?


අප කී දෙනෙක් එම පදයට කීකරු වනවාද? එසේ වනවානම් අප සැබෑ කිතුනුවෝ වන්නෝය. දෙවියන්වහන්සේගේ රාජ්‍ය ළඟම පැමිණෙන බව ඔබ දන්නවාද? මිනිස් යුගයේ අවසානයත්, සියළු මිනිස් වර්ගයා විනිශ්චයට යේසුස්වහන්සේ එන දවසත් අත ළඟය. එසේනම් සැබෑ කිතුනුවා සෑමදාම මේ අපේක්ෂාවෙන් සිටිය යුතුය. සෑමදාම මෙම නැවත පැමිණීමට අපගේ ජීවිත සූදානම්ව සිටිය යුතුය.


කිතුනුවනි! දෙවියන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ, ඔබගේ ජීවිතයේ ඉශ්ට වනවාට ඔබ කැමැතිද? මෙම කැමැත්ත බොහෝ අවස්ථාවල අපගේ කැමැත්තට හා සිතිවිලි වලට විරුද්ධය. "දෙවියො දෙන වෙලාවට දෙයි" කියා කවුරුත් ඔබට කියා තිබෙනවාද? එසේ කියන්නෝ දෙවියන්වහන්සේගේ කැමැත්ත නොදන්නා වූද දේව වචනය (බයිබලය ) හරි හැටි නොදන්නාවූද අයවේ. මම මෙසේ කියන්නේ ඇයි? සමහර විට දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට අවශ්‍ය දේම නොවේ. සමාන්‍ය සම්මතයට අනුව සෑම කෙනෙකුටම පොදු ලෙස සෑම ආශිර්වාදයක්ම නොලැබේ. එයින් දෙවියන්වහන්සේ අදහස් කරන්නේ අපට හානියක් කිරීමට නොව අපගේ යහපතත්, අප තුලින් උන්වහන්සේව ගෞරවයටත් ලක් කරගැනීමය.


සෑම කිතුනුවෙකුම ජීවත්වන්නේ දෙවියන්වහන්සේව ගෞරවයටත්, මහිමයටත් ලක් කිරීමටය. යේසුස් වහන්සේ මෙලොවදී කල සෑම දේම, ඉගැන්වීමක් වේවා, සුව කිරීමක් වේවා, හාස්කමක් වේවා, කලේ දෙවියන්වහන්සේව ගෞරවයට ලක් කරන පිණිසය (යොහාන් 17:1). සෑම කිතුනුවෙකුම තමන්ගේ ජීවිතය ගැන මෙම ආකල්පයෙන් සිටිය යුතුය. 


අපහසු කාර්යයන් සෑම කෙනෙකුටම කළ නොහැකිය. දෙවියන්වහන්සේ එවන් අවස්ථා වලදී තමන් වහන්සේගේ කැමැත්ත කිරීමට තරම් හැකියාවක් ඇති හදවත එම අපහසු කාර්යය කිරීමට යොදවනවා බයිබලය පුරාවට අප දැකගත හැක. 


එම නිසා සාමාන්‍ය කෙනෙකු ලබන අශිර්වාදයක් ඔබට සිදුවීමට කල් ගත වන විට, ඔබ යාච්ඤාවට යොමුවන්න. අධෛර්යමත් නොවන්න. දෙවියන්වහන්සේගේ සැලැස්ම සහමුලින්ම වෙනස් එකක් විය හැකිය. සමහර විට ඔබගේ ඇදහිල්ලත්, ඉවසිලිවන්තකමත් ඔබටම පෙන්වනුවස් උන්වහන්සේ යම් කිසි අශිර්වාදයක් ඔබට නොදී සිටීමට පුළුවන. ඔබ දේව කැමැත්ත දැනගත යුතුය. සමහර අවස්ථාවන්හීදී ඔබව උන්වහන්සේට අවශ්‍ය තවත් මාර්ගයකට ඔබව යොමුකරණවා ඇත. එවිට ඔබ සන්සුන්ව උන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. ඔබට අවශ්‍ය යයි ඔබ සිතු දේට වඩා උන්වහන්සේ ඔබව ගෙන යන තැන ඔබට මහත් ප්‍රීතියක් ගෙන දෙනවා නොඅනුමාණය. මක්නිසාද දෙවියන්වහන්සේට කීකරු වන්නා සමඟ උන්වහන්සේ සදහටම සිටින සේක. 


කිසිම දිනක දෙවියන්වහන්සේගේ කැමැත්තට අකමැති වී ඔබගේම කැමැත්තම නොඉල්ලන්න. දෙවියන්වහන්සේ ඔබට ආදරය කරන නිසා ඔබට කිසිම දිනක අයහපතක් නොකරණ සේක. ඔබගේ කැමැත්තද දෙවියන්වහන්සේට දිය හැකිය. ඔබ වඩ වඩාත් ඉල්ලන්නේ එයම නම්, එම කැමැත්ත සමහර විට ඔබට ලැබෙනු ඇත. නමුත් එහි ප්‍රතිඵලය කණගාටුවෙන් අවසාන වනු ඇත. නැතහොත් එහි ප්‍රීතිය දෙවියන්වහන්සේගේ කැමැත්තවූ මාර්ගයට වඩා අඩු වනු ඇත. 


කිතුනුවකු හැටියට සාමාන්‍ය ජීවිතයකට හුරු නොවන්න. සැබෑ කිතුනුවාගේ ජීවිතය අභියෝග වලට නිර්භීතව මුහුණ දෙන ජීවිතයක් විය යුතුය. එය කිතුනුවාට සැබෑ ප්‍රීතිය හා සාමයද දෙවියන්වහන්සේගේ සිතට ප්‍රීතිය හා ඔබ ගැන ආඩම්භරයක්ද, උන්වහන්සේගේ නාමයට ගෞරවයද, ප්‍රශංසාව හා මහිමයද ගෙනෙනු ඇත.


සමාජ සම්මතයට හැඩ නොගැසෙන්න (රෝම 12:2). දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක් දැයි සොයන්න. එවිට ඔබ සැබෑ අර්ථවත් ජීවිතයක් අත්දකිනවා ඇත (යොහාන් 10:10).