බයිබල් පාඨය: මතෙව් 6:5-14
ස්වාමීන්ගේ යාච්ඤාව බොහෝ කිතුනුවෝ කටපාඩමින් දන්නාවූ බයිබල් කොටසකි. නමුත් එය තේරුම්ගන්නාවූ අය ඉන්නේ කීයෙන් කී දෙනාද?
ස්වාමීන්ගේ යාච්ඤාව තුල මා ඇතුළු බහුතරයක් කිතුනුවෝ මඟ හරින්නාවූ කොටසක් ගැන අවධානය යොමු කිරීමට මම සිතුවෙමි. මීට හේතුව නම් පසුගිය සතිය තුළ මටත් මාගේ බිරිඳටත් පවුලක් හැටියට මුහුණ පෑමට සිදුවූ කුණාටුවක් නිසාය.
බොහෝ කිතුනුවන් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ තමන්ගේ මනසේ සීමාවට යටත්වය. මමද මෙම දුර්වලකමට යටත් වේ. බොහෝ විට දෙවියන්වහන්සේ අපගේ උවමනා එපාකම් පමණක් සැපයීමට සිටින බව මිනිසුන්ගේ විශ්වාසයයි. මෙය පොදුවේ බොහෝ මිත්‍යා ආගම්වල මිනිසා මවාගත් දෙවිවරුන්ගේ එකම කාර්යයයි.
ඔබගේ රාජ්‍ය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළොවේද ඉටුවේවා (මතෙව් 6:10) යයි ස්වාමීන්ගේ යාච්ඤාවේ සඳහන් වන පදය ගැන අප කී දෙනෙක්ගේ අවධානය යොමුවනවාද?
අප කී දෙනෙක් එම පදයට කීකරු වනවාද? එසේ වනවානම් අප සැබෑ කිතුනුවෝ වන්නෝය. දෙවියන්වහන්සේගේ රාජ්‍ය ළඟම පැමිණෙන බව ඔබ දන්නවාද? මිනිස් යුගයේ අවසානයත්, සියළු මිනිස් වර්ගයා විනිශ්චයට යේසුස්වහන්සේ එන දවසත් අත ළඟය. එසේනම් සැබෑ කිතුනුවා සෑමදාම මේ අපේක්ෂාවෙන් සිටිය යුතුය. සෑමදාම මෙම නැවත පැමිණීමට අපගේ ජීවිත සූදානම්ව සිටිය යුතුය.
කිතුනුවනි! දෙවියන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ, ඔබගේ ජීවිතයේ ඉශ්ට වනවාට ඔබ කැමැතිද? මෙම කැමැත්ත බොහෝ අවස්ථාවල අපගේ කැමැත්තට හා සිතිවිලි වලට විරුද්ධය. "දෙවියො දෙන වෙලාවට දෙයි" කියා කවුරුත් ඔබට කියා තිබෙනවාද? එසේ කියන්නෝ දෙවියන්වහන්සේගේ කැමැත්ත නොදන්නා වූද දේව වචනය (බයිබලය ) හරි හැටි නොදන්නාවූද අයවේ. මම මෙසේ කියන්නේ ඇයි? සමහර විට දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට අවශ්‍ය දේම නොවේ. සමාන්‍ය සම්මතයට අනුව සෑම කෙනෙකුටම පොදු ලෙස සෑම ආශිර්වාදයක්ම නොලැබේ. එයින් දෙවියන්වහන්සේ අදහස් කරන්නේ අපට හානියක් කිරීමට නොව අපගේ යහපතත්, අප තුලින් උන්වහන්සේව ගෞරවයටත් ලක් කරගැනීමය.
සෑම කිතුනුවෙකුම ජීවත්වන්නේ දෙවියන්වහන්සේව ගෞරවයටත්, මහිමයටත් ලක් කිරීමටය. යේසුස් වහන්සේ මෙලොවදී කල සෑම දේම, ඉගැන්වීමක් වේවා, සුව කිරීමක් වේවා, හාස්කමක් වේවා, කලේ දෙවියන්වහන්සේව ගෞරවයට ලක් කරන පිණිසය (යොහාන් 17:1). සෑම කිතුනුවෙකුම තමන්ගේ ජීවිතය ගැන මෙම ආකල්පයෙන් සිටිය යුතුය.
අපහසු කාර්යයන් සෑම කෙනෙකුටම කළ නොහැකිය. දෙවියන්වහන්සේ එවන් අවස්ථා වලදී තමන් වහන්සේගේ කැමැත්ත කිරීමට තරම් හැකියාවක් ඇති හදවත එම අපහසු කාර්යය කිරීමට යොදවනවා බයිබලය පුරාවට අප දැකගත හැක.
එම නිසා සාමාන්‍ය කෙනෙකු ලබන අශිර්වාදයක් ඔබට සිදුවීමට කල් ගත වන විට, ඔබ යාච්ඤාවට යොමුවන්න. අධෛර්යමත් නොවන්න. දෙවියන්වහන්සේගේ සැලැස්ම සහමුලින්ම වෙනස් එකක් විය හැකිය. සමහර විට ඔබගේ ඇදහිල්ලත්, ඉවසිලිවන්තකමත් ඔබටම පෙන්වනුවස් උන්වහන්සේ යම් කිසි අශිර්වාදයක් ඔබට නොදී සිටීමට පුළුවන. ඔබ දේව කැමැත්ත දැනගත යුතුය. සමහර අවස්ථාවන්හීදී ඔබව උන්වහන්සේට අවශ්‍ය තවත් මාර්ගයකට ඔබව යොමුකරණවා ඇත. එවිට ඔබ සන්සුන්ව උන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. ඔබට අවශ්‍ය යයි ඔබ සිතු දේට වඩා උන්වහන්සේ ඔබව ගෙන යන තැන ඔබට මහත් ප්‍රීතියක් ගෙන දෙනවා නොඅනුමාණය. මක්නිසාද දෙවියන්වහන්සේට කීකරු වන්නා සමඟ උන්වහන්සේ සදහටම සිටින සේක.
කිසිම දිනක දෙවියන්වහන්සේගේ කැමැත්තට අකමැති වී ඔබගේම කැමැත්තම නොඉල්ලන්න. දෙවියන්වහන්සේ ඔබට ආදරය කරන නිසා ඔබට කිසිම දිනක අයහපතක් නොකරණ සේක. ඔබගේ කැමැත්තද දෙවියන්වහන්සේට දිය හැකිය. ඔබ වඩ වඩාත් ඉල්ලන්නේ එයම නම්, එම කැමැත්ත සමහර විට ඔබට ලැබෙනු ඇත. නමුත් එහි ප්‍රතිඵලය කණගාටුවෙන් අවසාන වනු ඇත. නැතහොත් එහි ප්‍රීතිය දෙවියන්වහන්සේගේ කැමැත්තවූ මාර්ගයට වඩා අඩු වනු ඇත.
කිතුනුවකු හැටියට සාමාන්‍ය ජීවිතයකට හුරු නොවන්න. සැබෑ කිතුනුවාගේ ජීවිතය අභියෝග වලට නිර්භීතව මුහුණ දෙන ජීවිතයක් විය යුතුය. එය කිතුනුවාට සැබෑ ප්‍රීතිය හා සාමයද දෙවියන්වහන්සේගේ සිතට ප්‍රීතිය හා ඔබ ගැන ආඩම්භරයක්ද, උන්වහන්සේගේ නාමයට ගෞරවයද, ප්‍රශංසාව හා මහිමයද ගෙනෙනු ඇත.
සමාජ සම්මතයට හැඩ නොගැසෙන්න (රෝම 12:2). දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක් දැයි සොයන්න. එවිට ඔබ සැබෑ අර්ථවත් ජීවිතයක් අත්දකිනවා ඇත (යොහාන් 10:10).
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.