ඊයේ යාච්ඤාවකට ලද පිළිතුරක සාක්ෂියක් බෙදා ගැනීමට මම කැමැත්තෙමි.
මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් නිසා මාගේ මිතුරකු උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඊයේ සවස් භාගයේදී මා මෙම තැනැත්තා හමුවන විට 102.2 ට ශරීර උෂ්ණත්වය වැඩිව තිබුණි. මා ඊයේ උදෑසන මෙම බ්ලොග් අඩවියේ ලියූ ලිපිය මතකයට මට නැඟිනි.
අත තබා මෙම පුද්ගලයාට යාච්ඤා කිරීමට මට සිතුණි. බයිබලයේ සඳහන් මුල් කිතුනුවන් හට මෙසේ යාච්ඤාව තුලින් වෙනත් අයට සුවය දීමට හැකි විය. තවද යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝළයන්ට යාච්ඤාව හා දෙවියන්වහන්සේගෙන් ඉල්ලන දේ ගැන තිබෙන්නාවූ ඇදහිල්ල මත පිළිතුරු ලැබෙන බව නිතරම ප්‍රකාශ කළ සේක (මතෙව් 9:29).
අද කිතුනුවෝ බහුතරය මෙසේ යාච්ඤාව තුලින් සුවවීම ගැන උනන්දුවක් නොදක්වයි. හාස්කම් මෙහෙයන් සංවිධානය කරන දේශකයන්ගේ යාච්ඤා මඟින් සුවය ලැබීම ගැන බොහෝ අයගේ ඇදහිල්ලක් ඇත. නමුත් තමුන්ටම යාච්ඤා කිරීමෙන් මෙම සුවය ලබා දීමට හැකිද නැත්ද ගැන සැකයක් මොවුන් තුල පවතී. එම නිසා උත්සාහ කරන්නේද නැත.
යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක. "අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේය. ඔවුහූ මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂා වලින් කථා කරති; සර්පයින් අතින් අල්ලා ගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට ඔවුහු සුවය ලබති" (ශු. මාක් 16:17)
මේ යේසුස් වහන්සේගේ වචන බව අප කී දෙනෙක් විශ්වාස කරනවාද? එසේ නම් කිතුනු අප බෙලහීනව සිටින්නේ මන්ද? සෑම විටම අපට ප්‍රතිඵල ලැබෙන්නේද නැත්ද යන්න දන්නේ දෙවියන්වහන්සේ පමණි. අපගේ ඇදහිල්ල අපම පරික්ෂාකර ක්‍රියාත්මක නොකරොත් අපගේ ඇදහිල්ල මියැදෙනු ඇත.
මෙය දෙවියන්වහන්සේ පරික්ෂා කිරීම සමඟ පටලවා නොගන්න. එසේ කිරීම පාපයකි.
නමුත් යේසුස් වහන්සේ තුල අපට යහපත කිරීමට දී ඇති බලය ගැන අපි උනන්දු විය යුතුය.
සාක්ෂියේ අවසානය මේය. මා අත් තබා යාච්ඤා කර මේ තැනැත්තා අභියස බයිබලය කියවන්නට විය. විනාඩි 30ක් වත් ගත නොවුනි. ලෙඩව ඇඳෙහි ඇල වී සිටි මේ තැනැත්තා එක වරම ඇඳෙන් නැගිට ගෙදොර වැඩ කිරීමට පටන් ගත්තේය.
ඔබට දැන් කුමක් දැනෙන්නේ දැයි මා මේ තැනැත්තාගෙන් ඇසුවෙමි. කිසිම රෝගී තත්වයක් නොදැනෙන බව මොහු මා හට පැවසුවේ රෝගීව සිටිය බව අමතක වූ ලෙසටය. මම දෙවියන්වහන්සේට මුළු හදින් ප්‍රශංසා කරමි. උන්වහන්සේ මා වැනි නොවටින කෙනෙකුගේ යාච්ඤාවට කන් දුනි.
ඔබත් කිතුනුවෙකු ලෙස ඔබගේ ඇදහිල්ල පරික්ෂා කරගත යුතුමය. නැතහොත් කාලයත් සමඟ ඔබගේ කිතුනු ගමන ඇල්මැරෙනු ඇත.