Showing posts with label පෞද්ගලික. Show all posts
Showing posts with label පෞද්ගලික. Show all posts

Thursday, September 6, 2012

සම්ප්‍රදායික හා සැබෑ කිතුනුකම

සාම්ප්‍රදායික කිතුනුකම හා සැබෑ කිතුනුකම අද ලෝව කිතුනු භක්තිවතුන් බෙදෙන්නාවූ කොටස් දෙකකි. මෙය කතෝලික සභාවට නොව කතෝලික නොවන සභාවටද බලපායි. ඔබ වැටෙන්නේ මේ කුමන කාණ්ඩයටද? මෙම කාණ්ඩ දෙක අතර ඇති වැදගත්කම කුමක්ද?

සාම්ප්‍රදායික කිතුනුවෝ යනු උපතින් කිතුනු පවුලකට අයත් වන පුද්ගලයින්ය. මොවුන් කිතුනු දහම ගැන දන්නේ සම්ප්‍රදායන් පමණි. කිතුනු ආගමික පොත වන බයිබලය, දෙවියන්වහන්සේගේම වචනය වන්නේ කෙසේදැයි මොවුන් දන්නේ නැත. දේසේ හැටියට වාසේ මෙන් මොවුහූ ඉරුදින පල්ලියටද යයි. දේශනා අසන මොවුහූ, එය යම්කිසි ශුද්ධ කමක් තමනට ගෙන දෙන බව සිතති.

අද පවතින පල්ලිවලින් බහුතරයක්ම උගන්වන්නේ මිනිස් සම්ප්‍රදායන් මිස දෙවියන්වහන්සේ කැමැත්ත නොවේ. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගන්නාවූ එකම මඟ නම් උන්වහන්සේ විසින් එළිදරව් කරන ලද පණිවුඩය, එනම් බයිබලය කියවීමයි.

මිනිසා පාපයට වැටුනු දින සිට කරන්නේම මිනිසාට උවමනා දෙය පමණක්ය. මිනිස් සම්ප්‍රදායන් දෙවියන්වහන්සේගේ ආඥා කඩ වන පිණිස බොහෝ දේවස්ථාන පවත්වයි. සම්ප්‍රදායික කිතුනුවෝ මේ කිසිවක් නොදැන ඔහේ යන මඟ යයි. මෙසේ නොවන්න.

සැබෑ කිතුනුවා යනු බයිබලය කියවා, එහි ඇති දේ සත්‍යද අසත්‍යදැයි සොයා, සත්‍ය නම් ඒ අනුව තම ජීවිතයම හැඩගස්වා ගන්නා වූ පුද්ගලයාය.


දෙවියන්වහන්සේගේ වචනය කථාවට පමණක් සීමාවූවක් නොව බලයෙන් පිරුණු අත්දැකීමක් බව 1 කොරින්ති 4:20 හි සඳහන් වේ. සැබෑ කිතුනුවා හා ලෞකික මිනිසා අතර වෙනස පැහැදිලිව දැක ගත හැකි විය යුතුය. ඒ තමන් අඳින පළඳින දෙයින් නොව, තමන්ගේ ජීවිතය හා චරිතයෙනි.

කිතුනු ජීවිතය බලයෙන් පූර්ණ ජීවිතයකි. මෙම බලය දෙන්නේ දෙවියන්වහන්සේය. එම බලය ලබා ගැනීමට නාමික හෝ සම්ප්‍රදායික කිතුනුවෝ උත්සාහ නොකරති. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙකු වීම තුලින් ජීවිත වෙනසක් ඔවුහූ අත්දකින්නේ නැත. සාම්ප්‍රදායික කිතුනුවා මෙලොව ආකාරයට හැඩ ගැසෙන්නේ තමන් කිසිදා මිය නොයන ලෙසය.


සැබෑ කිතුනුවා තමන් කවුද, තමන් යන්නේ කොහිදැයි දනී.

එම නිසා ඔබට මෙලොව ලැබී ඇති කාලය නාස්ති නොකරන්න. බයිබලය අතට ගෙන කියවන්න. එහි සත්‍ය අසත්‍යතාව සොයා බලන්න. එය යම් කිසි ලෙස අසත්‍ය නම් ඔබ කිතුනු යයි කියාගැනීමෙන් පලක් නැත. පල්ලි නොගොස් ගෙදර වැඩ පළක් බලා සිටීම ඊටත් වඩා පළදායී වනු ඇත.

සම්ප්‍රදායන් අත් අරින්න. ඒවා පැමිණුනේ කොයින්දැයි සොයාබැලීම තුලින් ඔබ මවිතයට පත්වනු ඇත. යහපත් දේ සැම විටම යහපත්ය. එසේ නම් අදම තීරණයක් ගන්න. ඔබගේ විශ්වාසයන් සත්‍ය දැයි සොයා බලන්න.

Monday, August 20, 2012

ඇස් නොපෙනෙන දේව සේවකයා

ඊයේ දහවල් කාලයේ මගේ ජීවිතයේ විශේෂ අත්දැකීමක් ලබන්නට මට අවස්ථාවක් ලැබුණා. මීට දින කීපයකට පෙර මා නමින් පමණක් අසා තිබූ දේව සේවකයෙක් මුණගැසීමේ ආශිර්වාදය මට ලැබුනා. දේව ගැතිවරයා හා සමඟ මා ගත කළ කාලය ගැන කෙටි විස්තරයක් ඔබලා සමඟ බෙදාගැනීම සුදුසු යයි මට සිතුනු නිසා මේ ලිපිය ලිවීමට මා අදහස් කලෙමි.

මෙම දේව ගැතිවරයාගේ ජීවිත සාක්ෂිය ගැන බිඳක් කිව යුතු බව මුලින්ම සිතේ.

ඔහු කතෝලික පසුබිමකින් ආ පුද්ගලයෙකි. නමුත් ආගම දහමට එතරම් ලැදියාවක් දැක් වූ පුද්ගල්යෙක් නොවූවෙකි. එක්තරා ආකාරයක දඩබ්බර චරිත ලක්ෂණ තිබිණා වූ මිනිසෙකි.

කාලයක් තිස්සේ මොහුගේ අසල්වාසියකු ගැළවීමේ පණිවුඩය මොහුටත් මොහුගේ මිත්‍රයින්ට කියමින් සිටියාය. නමුත් මේ කිසිවක් ඔහුට කිසිම ප්‍රයෝජනයක් නොවීය.

වාරයන් කීපයක් මේ අසල්වැසි වැඩිහිටි කාන්තාව විශේෂයෙන් මේ පුද්ගලයාට දේවස්ථානයට යාමට ආරාධනා කර නමුත්, මොහු තරයේ එය ප්‍රතික්ෂේප කරන්නට විය.

එක් අවස්ථාවක මේ වැඩිහිටි කාන්තාව, මොහු ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී, ළඟ කඩයට යමුයයි කියා පැවසුවාය. වැඩිහිටි අයකුගේ කතා කිරීම නිසා සිතින් බණිමින් මොහු සෙල්ලම අත්හැර මැය සමඟ ගියේය. නමුත් ඇය මොහුව ගෙන ගියේ කඩයට නොව දේවස්ථානයකටය. මොහුගේ කේන්තිය තවත් වැඩිවිය. පරුෂ වචනයෙන් වචන කිහිපයක්ම මොහු සිහින් හඬින් මුමුණාගත්තේය.

එදා එම දේවස්ථානයට ඔහු ගියේ නැවතත් එම දේවස්ථානයට යාමේ අරමුණෙන් නොවේ. නමුත් යම්කිසි පෙළඹවීමක් ඔහුගේ සිතෙහි විය. එම නිසා මොහු නැවත නැවත එම පල්ලියේ වැඩ සටහන් වලට සහභාගී විය. එක් අවස්ථාවක එම සභාවේ තරුණ වැඩසටහනකට සහභාගී වීමට මොහුට හැකි විය.

කළක් තිස්සේ මෙම සභාවට පැමිණෙමින් සිටි මොහු එම දේවස්ථානයේ භක්තිකයන් බොහොමයක් අන්‍යභාෂාවෙන් කථා කරනවා දකිමින් මවිතයට පත්විය. මුලදී මෙම ආගමිකයෝ සිහිවිකල්ව ඇතැයි සිතුනද පසුව ඔහුටත් එම දීමනාව ලැබීමට දැඩි ආශාවක් විය.

පෙර කියූ තරුණයින්ගේ වැඩසටහනට සහභාගී වූ මොහු ප්‍රශංසා කාලයේදී මෙම අන්‍යභාෂාව ප්‍රබල ලෙස භාවිතා වනවා දුටුවේය. මොහු එම අවස්ථාවේදී මෙවන් වදනක් යාච්ඤාවෙන් පැවසීය. "ස්වාමිනී! ඔබ සැබැවින්ම දෙවියන්වහන්සේ නම් මොවුනට ඇති මෙම හැකියාව මටද දෙන්න". ක්ෂනයකින් ඔහු පිට මහත් බලයක් පැමිණි බව ඔහුට දැනින. එම බලය දරාගත නොහැකිව ඔහු පසුපසට විසිවී ගිය බව ඔහු මා හට පැවසුවේය. ඔහු ඉල්ලීම කර ස්ථානයට වඩා දුරක් පිටුපසින් වැටී සිටි බව සිහි ආ සැනින් ඔහුට තේරුම ගියේය. ඒ සමඟම ඔහු අන්‍යභාෂාවෙන් කථාකිරීමට පටන් ගත්තේය.

මෙදිනෙන් පසු මොහු දැඩි ලෙස දෙවියන්වහන්සේට කැපවන්නට විය. ශුද්ධාත්ම දීමනාව ලැබීමෙන් පසුවද මොහුට විවිධ අතපසුවීම් වුවද මොහු දිගින් දිගටම දෙවියන්වහන්සේ සොයන්නටත් උන්වහන්සේට ළං වන්නටත් විය.

මොහු නොදැන සිටියද ශුද්ධාත්මය කරණ කොටගෙන මොහුට යාඤාවෙන් සුවකිරීමේ වරයද, යක්ෂාත්ම දුරුකිරීමද, අන් අයගේ සිතේ ඇති දේ එළිදරව් කිරීම ඇතුලු ශුද්ධාත්ම දීමනා කිහිපයක්ම දෙවියන්වහන්සේ දී තිබුණි.

මෙම බලවත් හැකියාවන් ලද නමුත් මෙම දේවගැතිවරයා නොමඟ නොගියේය. මිල මුදල් වලට හාස්කම් මෙහෙයන් කිරීමේ අවස්ථා තිබුණද දෙවියන්ගෙන් නොමිලේ ලද දේ නොමිලේ මිනිසුන් වෙත සේවය කිරීම යුතු බව බයිබලයේ සඳහන් වචන වලට මොහු කීකරු විය.

අද මොහු මඟ පෙන්වන සභාව තිබෙන්නේ සීදුවේ ඔහුගේ කුඩා නිවසේය. මෙම ස්ථානය එතරම් පිරිසකට රැස්වීමට තරම් ඉඩ පහසුකම් නැති ස්ථානයකි. එහෙත් යටහත් පහත් ගතිගුණ ඇති මෙම සේවකයා විශ්වාසවන්ත ලෙස දෙවියන්වහන්සේට සේවය කරමින් ඔහුට උන්වහන්සේ දැනට භාර දී ඇති කුඩා බැටළු රැළ පෝෂණය කරමින් සිටීයි.

මොහුට, මොහුගේ දෙනෙත් අහිමි විය. දේව කරුණාවෙන් ජීවිතය රැකුන මොහු තවමත් දෙවියන්වහන්සේගේ නාමයට ගෞරවය ගෙනෙමින් සේවය කරයි. මොහුගේ දෙනෙත් නොපෙනීම මොහුට සාමාන්‍යයෙන් බාධකයක් විය යුතු නමුත් එය එසේ නොවේ. ශුද්ධාත්මයාණන් මොහුගේ ජීවිතය තුල සිටිමින් මොහුට අවශ්‍ය සියලු මඟ පෙන්වීම දෙන සේක. කෙනෙකුට මෙම දෙවගැතිවරයා රැවටීම අපහසු කාර්යයක් වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ මොහුට එම කළින් එළිදරව් කරන නිසාය.

මොහුගේ ජීවිතයේ සාක්ෂිය ගැන මා දන්නේ මෙපමණය. මොහු සමඟ කථා බහ කිරීමේදී මා ඉගෙන ගත් දෙය සරලව මෙසේය.

මෙම පාදුන්වහන්සේ කී පරදි කිතුනු භක්තිකයා හා හාස්කම් කිරිමේ බලය ලද්දා අතර ප්‍රධාන වෙනස මේය. එනම් දෙවියන්වහන්සේගේ නාමයෙන් සුවවීම් කරන්නා දෙවියන්වහන්සේට කල නොහැකි දෙයක් නැතිබව 100% ක් විශ්වාස කරන අතර සමාන්‍ය කිතුනුවා ඉතා අඩු විශ්වාසයකින් යුතුව සිටින බවයි.

මෙහි සත්‍යතාව මොහු මෙසේ පැහැදිලි කරේය. වෛද්‍යවරයෙකු සුවකර නොහැකි යයි පවසන විට එය සමාන්‍ය කිතුනුවා කිසිසේත් අවිශ්වාස නොකරයි. එසේනම් දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි බව ඔහු කොපමණ විශ්වාස කළ යුතුද? නමුත් එය අද එසේ නොවේ. ලෙඩක් දුකක් වූ විගසම වෛද්‍යවරයාගේ පිහිට පැතීම සෑමදෙනාගේම පුරුද්ද වී ඇත. වෛද්‍යවරයා මුදල් අයකර සුවය දීමට උත්සාහ කරයි. දෙවියන්වහන්සේ නොමිලේ ක්ෂණයකින් ස්ථීර සුවයක් ලබා දේ.

දේව බලයෙන් සුවය වෙනුවෙන් යාච්ඤා කරන විට යාච්ඤා කරන්නා හා රෝගියා යන දෙදෙනාටම සුවවීම ගැන ස්ථීර විශ්වාසයක් තිබිය යුතුය. නැතහොත් සුවවීමක් සිදුවන්නේ නැත. එම නිසා මෙම විශ්වාසය දෙදෙනා අතර පවතින බවට කළින් නිර්ණය කර යුතුය.

යාච්ඤාවකට පිළිතුරු ලෙස හාස්කමක් වූ විට ඒ ගැන සාක්ෂි දැරිය යුතු බව මොහු තරයේ අවධාරණය කලේය. මා ඉල්ලා සිටියේ මෙවන් හාස්කමකටය. එය ලැබූ පසු සාක්ෂි දරණ බවට මා සිතට ගත්තේ පසු නොබසින ධෛර්යයක්ද ඇතුවය.

කිතුනුවා ආශා කළ යුත්තේ ශුද්ධාත්ම දීමනා වලටය. 1 කොරින්ති 12 පරිච්ඡේදයේ සඳහන් ශුද්ධාත්ම දීමනා දෙවියන්වහන්සේගෙන් අද ඉල්ලන්නේ කීයෙන් කීදෙනාද? කිතුනුවෝ අද යාච්ඤා කරන්නේ ලෞකික, තාවකාලික, මෙලොවට සීමාවූ, තමන්ට පමණක් සතුට ගෙනෙන ආශිර්වාද සඳහාය.

ශුද්ධාත්ම දීමනා ඉල්ලන්නා එම දීමනා ලැබූ විට දේව සේවය සඳහා යෙදවීමට අමතක නොකර යුතුය. කිසිම අයුරකින් දෙවියන්වහන්සේ රැවටීමට මිනිසාට නොහැක. දේව සේවයට හා දෙවියන්වහන්සේගේ නාමය ගෞරවය සඳහා දෙන්නාවූ මම දීමනා, එම කාරණා සඳහා පමණක් යොදවන්නට සිතට ගන්නා හට මෙම දීමනා ලැබේ.

පසුගිය ඉරුදින මෙම දේවගැතිවරයා දේව මෙහෙය අමතන අවස්ථාවේ, ඔහු සැලසුම් කරගත් බයිබල් කොටස මත දේශනා නොකර, ජෙරමියා 7 පරිච්ඡේදය සභාවට පවසන ලෙස ශුද්ධාත්ම පෙළඹවීමක් විය. මෙහි සඳහන් කරන්නේ සතිය පුරාවට පාපයේ නි‍යැලී දෙව් මැදුරට පැමිණ කරන්නාවූ ප්‍රෝඩාව ගැනය.

අවසානයේ මාගේ යාච්ඤා ඉල්ලීම වූයේ ශුද්ධාත්ම බලයෙන් අන්‍යභාෂා කථා කිරීමට හැකියාව ලබන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලන ලෙසයි.

ඒ ගැන මොහු මා පිට අත තබා යාච්ඤා කලේය. ඉන්පසු දෙවි පිහිට පතමින්, නැවත කවදාහෝ මෙම සුවිෂේශ දේවසේවකයා හමුවීමේ බලාපොරොත්තුවෙන් මා ඔහුගේ නිවසින් පිටව ආවෙමි.