Thursday, June 28, 2012

බයිබලය කියවීම නොව අධ්‍යනය ජීවිතය වෙනස් කරයි


බයිබලය කියවීම සිත පිනවීම හැරෙන්නට වෙන යමක් මා හට නොකරයි. බයිබලය ගැඹුරින් අධ්‍යනය කිරීම මගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් කරයි. කිතුනු නොවන්නනි. බයිබලය කියවීම පමණක් ඔබට එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත. එය ගැඹුරින් අධ්‍යනය කිරීමත්, එහි සඳහන් ඓතිහාසික, විද්‍යාත්මක විස්තර නොසැලී සොයා බලන්න. එහි සඳහන් දෙවියන්වහන්සේගේ පොරොන්දු අත්හදා බලන්න. එසේ කරොත් ඔබ සත්‍ය දැනගෙන ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇත.

"මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය" (රෝම 10:13)

Tuesday, June 19, 2012

ශාරීරික සුවය


ඊයේ යාච්ඤාවකට ලද පිළිතුරක සාක්ෂියක් බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් නිසා මාගේ මිතුරකු උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඊයේ සවස් භාගයේදී මා මෙම තැනැත්තා හමුවන විට 102.2 ට ශරීර උෂ්ණත්වය වැඩිව තිබුණි. මා ඊයේ උදෑසන මෙම බ්ලොග් අඩවියේ ලියූ ලිපිය මතකයට මට නැඟිනි.

අත තබා මෙම පුද්ගලයාට යාච්ඤා කිරීමට මට සිතුණි. බයිබලයේ සඳහන් මුල් කිතුනුවන් හට මෙසේ යාච්ඤාව තුලින් වෙනත් අයට සුවය දීමට හැකි විය. තවද යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝළයන්ට යාච්ඤාව හා දෙවියන්වහන්සේගෙන් ඉල්ලන දේ ගැන තිබෙන්නාවූ ඇදහිල්ල මත පිළිතුරු ලැබෙන බව නිතරම ප්‍රකාශ කළ සේක (මතෙව් 9:29).

අද කිතුනුවෝ බහුතරය මෙසේ යාච්ඤාව තුලින් සුවවීම ගැන උනන්දුවක් නොදක්වයි. හාස්කම් මෙහෙයන් සංවිධානය කරන දේශකයන්ගේ යාච්ඤා මඟින් සුවය ලැබීම ගැන බොහෝ අයගේ ඇදහිල්ලක් ඇත. නමුත් තමුන්ටම යාච්ඤා කිරීමෙන් මෙම සුවය ලබා දීමට හැකිද නැත්ද ගැන සැකයක් මොවුන් තුල පවතී. එම නිසා උත්සාහ කරන්නේද නැත.

යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක. "අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේය. ඔවුහූ මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂා වලින් කථා කරති; සර්පයින් අතින් අල්ලා ගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට ඔවුහු සුවය ලබති" (ශු. මාක් 16:17)

මේ යේසුස් වහන්සේගේ වචන බව අප කී දෙනෙක් විශ්වාස කරනවාද? එසේ නම් කිතුනු අප බෙලහීනව සිටින්නේ මන්ද? සෑම විටම අපට ප්‍රතිඵල ලැබෙන්නේද නැත්ද යන්න දන්නේ දෙවියන්වහන්සේ පමණි. අපගේ ඇදහිල්ල අපම පරික්ෂාකර ක්‍රියාත්මක නොකරොත් අපගේ ඇදහිල්ල මියැදෙනු ඇත.

මෙය දෙවියන්වහන්සේ පරික්ෂා කිරීම සමඟ පටලවා නොගන්න. එසේ කිරීම පාපයකි.

නමුත් යේසුස් වහන්සේ තුල අපට යහපත කිරීමට දී ඇති බලය ගැන අපි උනන්දු විය යුතුය.


සාක්ෂියේ අවසානය මේය. මා අත් තබා යාච්ඤා කර මේ තැනැත්තා අභියස බයිබලය කියවන්නට විය. විනාඩි 30ක් වත් ගත නොවුනි. ලෙඩව ඇඳෙහි ඇල වී සිටි මේ තැනැත්තා එක වරම ඇඳෙන් නැගිට ගෙදොර වැඩ කිරීමට පටන් ගත්තේය.

ඔබට දැන් කුමක් දැනෙන්නේ දැයි මා මේ තැනැත්තාගෙන් ඇසුවෙමි. කිසිම රෝගී තත්වයක් නොදැනෙන බව මොහු මා හට පැවසුවේ රෝගීව සිටිය බව අමතක වූ ලෙසටය. මම දෙවියන්වහන්සේට මුළු හදින් ප්‍රශංසා කරමි. උන්වහන්සේ මා වැනි නොවටින කෙනෙකුගේ යාච්ඤාවට කන් දුනි.

ඔබත් කිතුනුවෙකු ලෙස ඔබගේ ඇදහිල්ල පරික්ෂා කරගත යුතුමය. නැතහොත් කාලයත් සමඟ ඔබගේ කිතුනු ගමන ඇල්මැරෙනු ඇත.

Monday, June 18, 2012

ඔබ සැබෑ කිතුනුවෙක්ද?

ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ උපන්නේ කිතුනු යයි කියන පවුලක නිසා ඔබ ක්‍රිස්තියානුවෙක්ද? නැතහොත් ඔබ දේව වචනය අසා විශ්වාස කොට පසුතැවී, යේසුස්වහන්සේව ඔබේ පෞද්ගලික ගැළවුම්කාරයාණෝ ලෙස පිළිගෙන ඔබගේ ජීවිතයේ ස්වාමීත්ව උන්වහන්සේට දී තිබෙනවාද? නැත්නම් ක්‍රිස්තියානි කියන්නේ ඔබට තවත් එක් ආගමක් පමණද?

සැබැවින්ම කිතුනුවකු කියා ඔබට කියාගැනීමට අයිතිය තිබෙනවාද?

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. (නික්මයාම 20:7)


මෙම ලිපිය විශේෂයෙන්ම ක්‍රිස්තියානි නාමය දරන්නෝ වෙත ආමන්ත්‍රණය කරමි. මීට මා ද අයත් වේ. කිතුනු ජීවිතයට අදාල කරුණු කිහිපයක් සිහි කිරීම තුලින් ඔබගේ හා මාගේ ක්‍රිස්තියානි කම ගැන අවදානය යොමු කරන්නට කැමැත්තේමි.

ගැළවීම 

ඔබගේ ගැළවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? යේසුස් වහන්සේ මිනිසා පාපයෙන් ගළවා ගන්නට මෙලොවට පැමිණි බව ඔබ විශ්වාස කරනවාද? 

ඔබ එසේ පිළිගන්නකු නොවේ නම්, ඔබ කිතුනුවෙකු නොවේ. ඔබව රවටා නොගන්න. ඔබගේ ඉරණම සුභදායී නොවේ. ඔබ යේසුස් වහන්සේ ගැන සත්‍ය දැනගත යුතුමය.

උන්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් හැටියට පිළිගෙන තිබෙනවාද? එය ඔබ නිසැකව විශ්වාස කරනවාද? එසේනම් ඔබ යේසුස් වහන්සේ ගැන කී දෙනෙකුට කියා තිබෙනවාද? සැබැවින්ම යම් කිසි රෝගයකට සාත්තු කර හැකි හොඳ වෛද්‍යවරයෙකු ඔබ දන්නවා නම්, එම රෝගයෙන් පෙළෙන ඔබේ හිතවතෙකුට ඔහු ගැන කියනවා නොවේද? එසේනම් පාපයේ අවසන් ප්‍රතිඵලය දන්නාවූ ඔබ, එයින් සුවය ලැබීම ගැන එය නොදත් ඔබේ හිතවතුන්ට නොකියන්නේ මන්ද?

නිදහසට ඇත්තේ කාරණා දෙකක් පමණි.

1. ඔබ යේසුස්වහන්සේගේ ගැළවීමේ ගැඹුර හරි හැටි නොදන්නා නිසාය. එසේනම් ඔබගේ ගැළවීම සැක සහිත පමණක් නොව, එය අවලංගුය! මෙය භයානක තත්වයකි.

2. නැතහොත් තවත් කෙනෙකුට යේසුස් වහන්සේ ගැන කීමට ලැජ්ජාව.
යමෙක් මා ගැනත් මාගේ වචනය ගැනත් ලැජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදුතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වන සේක (ශු. ලූක් 9:26)

යාච්ඤාව 

ඔබගේ යාච්ඤාව මොනවගේද? ඔබ යාච්ඤා කරන්නේ මොනවා ගැනද?
නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත (යාකොබ් 4:3)
යාච්ඤාවට ඔබේ උනන්දුව කෙසේද?
නුඹලා පරික්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නමුත් මංසය බෙලහීනය (ශු. මතෙව් 26:41) 
යාච්ඤා කරන විට ඔබට නිදිමත හැදෙනවාද? ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබගේ උනන්දුව ගැන සාක්ෂියයි. ඔබ නොකඩව යාච්ඤා කරනවාද? (1 තෙසලෝනික 5:17) යාච්ඤාවට උනන්දුවක් නැත්නම්, එය යාච්ඤාවේ බලය ගැන විශ්වාසයක් නැති බව පෙන්නුම් කරයි.
සැක නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා; මක්නිසාද සැක කරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙළවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය (යාකොබ් 1:6-8)

අපේක්ෂාව

ඔබගේ දැඩි අපේක්ෂාව කුමක් සඳහාද? ධනවත් වීමද, ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමද, හැමෝගේම ආදරය ප්‍රසාදය දිනාගැනීමද, රූප සුන්දරියක් විවාහ කර ගැනීමද, ක්‍රිකට් තරුවක් සහකරුවෙකු කර ගැනීමද? සැබැවින්ම බයිබලය කියවන්නා කුමක් සඳහා අපේක්ෂා කළ යුතුද?
ආත්මික දීමනාවලට ආශාවෙන්න (1 කොරින්ති 14:1)
ප්‍රඥාවේ වචනය (Wisdom), දැනගැනීමේ වචනය (knowledge), ඇදහිල්ල (Faith), සුවකිරීමේ දීමනාව (Healing), ආශ්චර්ය කිරීම (Miracles), අනාගතවාක්‍ය කීම (Prophecy), ආත්මවල් විමසීම (Distinguishing spirits), නානා වර්ග භාෂා (Tongues), භාෂා තේරුම් කරදීම යන දීමනා කිතුනුවන්ට කොපමණ අවශ්‍යද?

නමුත් කිතුනුවෝ කී දෙනෙක් මෙම දීමනා උදෙසා යාච්ඤා කරනවාද? ඔබ අත තබා යාච්ඤා කරවිට කෙනෙකු සුව වනවා දකින්නට ඔබ කැමති නැද්ද? දෙවියන්වහන්සේට දේවදූත භාෂාවකින් ප්‍රශංසා කිරීමට ඔබ අකමැතිද? කිතුනු නොවන්නෙකුගේ හිතේ ඇති සැඟවුණු ප්‍රශ්නයක් ඔහුට එළිදරව් කර දෙවියන්වහන්සේගෙන් ඔහුට උපකාර ලබාදීමට ඔබ අකමැතිද? මෙවන් දේ ඔබ ඉල්ලුවහොත් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට එම දීමනා දෙන්නට සතුටින් බලා සිටීයි. යමක් උවමනා අය එය ඉල්ලිය යුතුය. එසේනම් ආත්මික ලොවේද එහි වෙනසක් නැත.

ආඥා රැකීම

ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරනවාද? මේක උතුම් වූ පළමුවෙනිවූ ආඥාවය. නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ඔබ ප්‍රේමකරනවාද? මෙය කිතුනු ජීවිතය පදනම් වන ආඥා දෙකයි. ඔබ මේ ආඥා දිනපතා ක්‍රියාත්මක කරනවාද?

බයිබල් අධ්‍යනය


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිශ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමෝති 3:16) එසේනම් බයිබලය අධ්‍යනය නොකරන්නාට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සම්පූර්ණකමට පැමිණිය නොහැක.

මේ ගැන අදම අපි පියවර ගත යුතු වෙමු.

Thursday, June 7, 2012

කිතු මඟ දුශ්කරතා

කිතුනු ජීවිතය යනු අපහසුතා මැදින් ගමන් ගන්නා ජීවිතයකි. දුශ්කරතා වලින් පිරුණු ජීවිතයකි. අධෛර්යවීමට බොහෝ හේතු කාරණා ඇත.


මාගේ ජීවිතයද මේ දවස් කිහිපය තුල එවන් දුශ්කරතා වලට මුහුණ දෙමින් ගමන් කිරීමට සිදුව ඇති ජීවිතයකි.


මගේ ජීවිතයේ වැදගත්ම යාච්ඤාවක් සඳහා තවමත් පිළිතුරු ලැබී නැත. මෙම යාච්ඤාව දෙවියන්වහන්සේගේ වචනයට එකඟ ඉල්ලීමකි. දෙවියන්ට ගරු බිය නොදක්වන්නාටද මෙම ආශිර්වාදය මා ඇස් ඉදිරිපිටම ලැබෙන්නේය. නමුත් දෙවියන්වහන්සේට හැකි තරම් කිට්ටුවීමට දිනපතා උත්සාහ දරණ මා හට තවමත් උන්වහන්සේ මේ ආශිර්වාදය දී නැත.


කාලයක් මා මිතුරුව සිටි විශ්වාසවන්තනීය කෙනෙක් අතින් මුල්‍යම වංචාවකට මම හසුවුනෙමි. මෙම තැනැත්තා කිතුනුවෙක්ද විය.


දෙමව්පියන්ගේ නොසැලිකිලිමත් වචන නිසාද මාගේ සිත වේදනාවට පත්ව ඇත.


යාච්ඤා වලට පිළිතුරු මා දිකින්නේද අන් අය සඳහා කරන ඉල්ලීම් වලටය. සමහර විට මා සිටින අධෛර්යවමත් මානසික තත්වය නිසාද යාච්ඤාව නිෂ්ඵල ලෙස පෙනෙනවාද ඇත.


ඇත්තම කියන්නට මා කිතුනුවකුව තව දුරටත් සිටින්නේ මක්නිසාද යන ප්‍රශ්නය පවා මා සිත පැමිණි අවස්ථා කිහිපයක්ද ඇත.


ඒ අවස්ථාවේදී මාගේ හිතට නැඟුනු බයිබල් පාඨය වූයේ යොහාන් තුමාගේ ශුභාරංචි පොතේ 6:68-70ය.


වරක් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට අපහසුව උන් වහන්සේගේ ගෝලයෝ බොහොමයක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොගිය බව මෙම කොටසේ සඳහන් වේ.


නමුත් සුළු පිරිසක් උන්වහන්සේ නොගියෝය. මොවුන් නැවත හැරී නොගියේ උන්වහන්සේගේ වචන ඔවුනට තෙරුණු නිසා නොවේ.
නුඹලාත් අහක්ව යන්නට කැමතිදැයි යේසුස් වහන්සේ දොළොස්දෙනාගෙන් ඇසූ සේක. 
සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තර දෙමින්,


ස්වාමිනී, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය
යේසුස් වහනසේ ඔවුන්ට උත්තර දෙමින්
මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද?...යයි කී සේක.
යේසුස් වහන්සේ අනුගමණය කිරීම, කිසිම ආගමකටත් වඩා වෙනස් බව පැහැදිලි කරන කරුණක් උන්වහන්සේ මෙහි කියන සේක. එනම් දෙවියන්වහන්සේගේ කැඳවීමෙන් තොරව කිසි කෙනෙකුට යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු (කිතුනුවෙකු) නොවිය හැකි බවයි.


ඕනෑම කෙනෙකුට බයිබලය කියවිය හැකිය. පල්ලියට ගොස් දේශනා අසන්නට හැකිය. යාච්ඤා කරන්නට හැකිය. ක්‍රිස්තියානි යයි ප්‍රකාශ කර ගත හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ කැඳවීමකින් තොරව මෙම ආගමික ක්‍රිස්තියානි කම සම්ප්‍රදායකට සීමාවේ.


දෙවියන්වහන්සේ සිටිනා බව මට විශ්වාසය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ මෙළොවට එවූ බවද මම විශ්වාස කරන්නේ සාක්ෂිද ඇතුවය.


එම නිසා දෙවියන්වහන්සේගෙන් වෙන්ව කිතුනුවා කොහි යන්නද?


මම ස්වර්ගයට නැඟුනද ඔබ එහිය.
ෂෙයෝලෙහි (සොහොන ) මාගේ යහන පිළියෙළ කෙරෙම් නමුත් ඔබ එහිය.
මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්, එහිදීත් ඔබේ හස්තය මට මඟ පෙන්වන්නේය... (ගීතාවලිය 139)