Showing posts with label ශුභාරංචිය. Show all posts
Showing posts with label ශුභාරංචිය. Show all posts

Monday, May 14, 2012

ශුභාරංචිය බෙදා ගැනීම

වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩෙහි යෙදී සිටින්න... (2 තිමෝති 4:2)

සෑම කිතුනුවෙකුම සතු වගකීමක් නම් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය ලෝකයේ සෑම කෙනෙකු සමඟම බෙදා ගැනීමයි. ඒ තුලින් පාපයට හා මුසාවට යටවී සිටින මිනිසුන් මුදවා ගැනීමයි.

අපට මිනිසුන් වශයෙන් උපතින්ම තිබෙන උවමනාවක් නම් අදහස් හුවමාරු කර ගැනීමයි. මිනිසා විවිධ වූ දේ අනෙකුත් මිනිසුන් සමඟ බෙදා ගනී. ඉතාමත් උවමනා දේ මෙන්ම අනවශ්‍ය ඕපාදූපාද බෙදා ගනී.

යම් කිසි මාරාණ්තික රෝගයකින් පෙළෙන්නකුට, එම රෝගයෙන් සුවය ලබා ගත හැකි මඟක් ගැන කීම, ඔහුට සතුට හා බලාපොරොත්තුවක් ගෙන දෙයි. ශුභාරංචිය එවන් පණිවුඩයකි. 

සැබෑ කිතුනුවෝ මෙම පණිවුඩය බෙදාගැනීම වැදගත්ය. මෙම ලෝකයට වැදගත්ම පණිවුඩය ශුභාරංචියයි. නමුත් මෙම පණිවුඩය බෙදාගැනීමේදී අවංක කිතුනුවෝ බොහෝ බාධක වලට මුහුණ පායි. මමද එවැන්නෙක් වෙමි. විවිධ වූ පොත් පත් කියවා ශුභාරංචි පණිවුඩය බෙදා ගත හැකි හොඳම ක්‍රම මා කියවා ඇත. නමුත් බයිබලයෙන් කිතුනුවාට දෙන උපදෙස් වලට වඩා සුදුසු වෙන කිසිම උපදෙසක් නැති බව මාගේ අත්දැකීමයි. එසේ මා හට උපකාර වූ බයිබල් පාඨ කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීම සුදුසු බව මා සිතු හෙයින් මෙම ලිපිය ලීවෙමි.

ශුභාරංචි පණිවුඩය බෙදා ගැනීමට අපට (කිතුනුවන්ට ) නියම කරන්නේ, අපගේ ගැළවුම්කාරයාණෝ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේය.

සෑම දේටම ප්‍රථමයෙන් හොඳ සවන් දෙන්නෙක් විය යුතුය. කිතුනු නොවන්නා එන්නාවූ පසුබිම ගැන හොඳින් සිතන්න. වෙනත් ආගමකින් පැමිණෙන්නෙකු, කුඩා කළ සිට එම ආගමේ ඉගැන්වීම් අනුව හැදී වැඩී ඇති බැවින්, ඔවුන්ගේ සිතිවිලි හා තීරණ ඒ අනුව හැඩ ගැසී ඇති බව මතක තබා ගන්න. යේසුස් වහන්සේගේ ගැළවීමේ පණිවුඩය අපට වටිනාසේම, කිතුනුවන් නොවන අයට ඔවුන්ගේ දහම හෝ ලෝක දර්ශනය ඔවුන්ට වැදගත් වේ. එම නිසා ඔවුන්ගේ අදහස් වලට හා තේරුම් ගැනීම් වලට හොඳින් සවන් දෙන්න.


තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසි කරන්නේය (හිතෝපදේශ 18:17)


සැම විටම සත්‍ය කථා කරන්න. බොරුවක් පවසා සත්‍ය ඔප්පු කරන්නට නොසොයන්න. ඔබ යම්කිසි දෙයක් ගැන නොදන්නේ නම් ඒ ගැන තවදුරටත් දැනගන්න. ඔබ යේසුස් වහන්සේට ජීවිතය කැපකිරීමට හේතු වූයේ ඇයි දැයි පවසන්න.


නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය (යොහාන් 8:32)


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩෙහි යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සත්‍ය පැහැදිලි කර දෙන්න (2 තිමෝති 4:2)

යේසුස් ස්වාමීන් වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිස මෘදුකමින් ඔවුන්ට සත්‍ය පැහැදිලි කර දිය යුතුය (2 තිමෝති 2:24-26)


භේදකාර මනුෂ්‍යයා පළමුවෙනි හා දෙවෙනි අවවාදයෙන් පසු අතහැර දමන්න (තීතස් 3:11). ඔවුන් පණිවුඩය ඇසීමට නොව විවාදයට පමණක් සැදී පැහැදී සිටින්නේය. ඔබගේ හිතට බරක් නොදෙන්නට ඔහුගෙන් ඉවත්ව යන්න. ඔවුන් කෙරෙහි ඔබගේ වගකීම සම්පූර්ණය.


සැබෑවේ වචනය හරි ආකාරව දැනගෙන කථා කරන්න (2 තිමෝති 2:15). වෙනත් අය දේව වචනය ගැන කියන්නාවූ දේ නොව, දේව වචනය ගැන ඔබම හොඳින් දැනගෙන ශුභාරංචිය බෙදාගන්න. බයිබල් පද කටපාඩමෙන් දැනගන්න. ශුභාරංචිය ප්‍රකාශ කිරීම කිතුනුවෙකුගේ ජීවිතයේ වැදගත්ම ක්‍රියාවකි. එම නිසා සත්‍ය ප්‍රකාශ කිරීමට ප්‍රථම හොඳින් ඒ ගැන දැනගන්න.



කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් නුඹම ආදර්ශයක් වන්න (1 තිමෝති 4:12). ශුභාරංචිය බයිබලයෙන් දැනගැනීමට පෙර ලෝකයා එය දකින්නේ සැබෑ කිතුනුවාගේ ජීවිතයෙනි (2 කොරින්ති 3:2).


දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)


පව්කරුවෙකු ඔහුගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව දැනගන්න (යාකොබ් 5:20)


තවත් වැදගත් අවවාදයක් නම් ඔබගේ ඇදහිල්ලයි. ඔබ විශ්වාස නොකරන්නාවූ දේ අන් අයට නොකියන්න. මෙය නාමික කිතුනුවෝ කිරීම නිසා බොහෝ විට කිතුනු ගැළවීම ගැන වැරදි මත අන්‍යභක්තිකයන් තුල හට ගෙන ඇත. ප්‍රථමයෙන් ඔබ ගැළවීම ලබා ඇත්දැයි හදවත සෝදිසි කරගන්න. ස්ථිරව දැනගෙන මිස අඩියක්වත් ඉදිරියට නොතබන්න. සමහරුන් ආගම් ගැන විවාද කරගනිමින් කුඩා ළමුන් මෙන්, "මගේ ආගම ශ්‍රේෂ්ථයි" ද, ඉන්පසු තව කෙනෙක්, "නෑ මගේ  ආගම ශ්‍රේෂ්ථයි" ද කියා ගනීයි. සත්‍ය වනාහි ස්ථිරව පවතී. එය එකම සත්‍යයි. කුඩා ළමුන්සේ නොහැසිරෙන්න.



අවසානයෙන් - ප්‍රතිඵලය දෙවියන්වහන්සේගේ හස්තයේ තබන්න. ඔබට කිසිම කෙනෙකු ගළවාගත නොහැකි බව කලින්ම දැන හිත හදාගන්න. ශුභාරංචිය බෙදාගන්න. ශුද්ධාත්මයාණන්ට ක්‍රියා කරන්නට ඉඩ දෙන්න (යොහාන් 16:5-16). ගැළවීම ලබන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයටය. උන්වහන්සේ තමන්ව ප්‍රතික්ෂේප කරන්නා කල්තියාම දන්නා සේක (2 කොරින්ති 4:3). 


ඔබට ජේසු පිහිටයි!