Monday, May 21, 2012

දේව වචනය හරිහැටි දැන සිටීම


යේසුස් වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා වරද්දාගන්නේ ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්නා නිසා නොවේද? (ශු.මාර්ක් 12:24)


ක්‍රිස්තියානි ජීවිතය සම්පූර්ණයෙන්ම බයිබලය හෙවත් දේව වචනය මතම පදනම් වූවකි. එයින් පිට සෑම දේම දේවසේවකයන්ගේ මතයන්ට සීමාවූ ඉගැන්වීම්ය. මේවා හරි හෝ වැරදි විය හැකිය. අපට ස්ථිර ලෙස විශ්වාසය තැබිය හැක්කේ බයිබලයේ පමණි.


එක්තරා අවස්ථාවකදී යේසුස් වහන්සේව ප්‍රශ්න කිරීමට එකල සිටි සද්දුසිවරු නම් ආගමික කණ්ඩායමක් පැමිණියෝය. එය මාර්ක්තුමාගේ ශුභාරංචියේ 12:18-27 දක්වා ඔබට කියවිය හැකිය.



ඔවුහූ වෘතිමය වශයෙන් ජුදා දේශයේ (වත්මන් ඉශ්‍රායලය) ආගමික නායකයෝ වූහ. නමුත් යේසුස් වහන්සේ ඉදිරියේ ඔවුන් දේව වචනය හරි හැටි නොදන්නා බව එළිදරව් විය.


අද බොහෝ කිතුනුවෝ බයිබලය කියවා හරි හැටි එය ඉගැනීමට කල් ගත නොකරයි. නමුත් මෙලොව දේ ගැන වෙහෙස වී ඉගැනුම ලබයි. දේව වචනය සෑම මිනිසකුම කියවා දැනගැනීම අතිශයින් වැදගත්ය. එය එකම දෙවියන්වහන්සේ මිනිසාට තමන්වහන්සේ ගැන දැනගන්නා පිණිස ලබා දුන්නාවූ එකම එළිදරව්වයි.



ක්‍රිස්තියානි මිනිසුන් දේවස්ථානයේ දේශනා අසා නිවෙසට පැමිනේ. එය ඔවුන්ගේ කණ් පිනවීමකට පමණක් සීමාවේ. නමුත් ඇසූ දේ සත්‍යද අසත්‍යයද යයි සොයා බලන්නේ නැත. 


‍යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම අත ළඟය. ඊට මත්තෙන් බොහෝ බොරු ඉගැන්වීම් ලොකයෙන් හා කිතුනුවන් යයි කියන්නන් අතරින් එන බව උන්වහන්සේ අනාවැකි පැවසූ සේක.



එය අද එසේ සිදුවන බව අපට පෙනේ. තමන්ගේ ආර්ථික වාසිය උදෙසා අසන්නන්ගේ කණ් පිනවන දේශකයෝ බොහෝය. ඔවුන්ගෙන් ප්‍රවෙසම් විය හැකි එකම ක්‍රමය නම් දේව වචනය හරි හැටි දැනගැනීමෙන්ය.


නොරැවටෙන්න! දේව වචනය උදෑසන, දහවල් හා රාත්‍රියේ කියවා මෙනෙහි කරන්න. එවිට ඔබ සැබෑ පල දරන්නාවූ, ආත්මිකව සපලත්වයක් ලබන මිනිසකු වන්නේය. දේව වචනයෙන් එය ඉගෙනගන්නා ලබන ආශිර්වාද ගැන ගීතාවලිය 119 වන පරිච්ඡේදයේ බොහෝ ලෙස ලියා ඇත. අදම බයිබලය හරි හැටි දැනගැනීමට කාලය වෙන්කරන්න. එය ඔබේ අද ජීවිතයටත් මතු පැමිණෙන ලොවේ ජීවිතයටත් අතිශයින්ම වැදගත් වන්නේය.


ඔබට දෙවියන්වහන්සේගේ කරුණාව හා ආශිර්වාද ලැබේවා!

Monday, May 14, 2012

ශුභාරංචිය බෙදා ගැනීම

වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩෙහි යෙදී සිටින්න... (2 තිමෝති 4:2)

සෑම කිතුනුවෙකුම සතු වගකීමක් නම් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය ලෝකයේ සෑම කෙනෙකු සමඟම බෙදා ගැනීමයි. ඒ තුලින් පාපයට හා මුසාවට යටවී සිටින මිනිසුන් මුදවා ගැනීමයි.

අපට මිනිසුන් වශයෙන් උපතින්ම තිබෙන උවමනාවක් නම් අදහස් හුවමාරු කර ගැනීමයි. මිනිසා විවිධ වූ දේ අනෙකුත් මිනිසුන් සමඟ බෙදා ගනී. ඉතාමත් උවමනා දේ මෙන්ම අනවශ්‍ය ඕපාදූපාද බෙදා ගනී.

යම් කිසි මාරාණ්තික රෝගයකින් පෙළෙන්නකුට, එම රෝගයෙන් සුවය ලබා ගත හැකි මඟක් ගැන කීම, ඔහුට සතුට හා බලාපොරොත්තුවක් ගෙන දෙයි. ශුභාරංචිය එවන් පණිවුඩයකි. 

සැබෑ කිතුනුවෝ මෙම පණිවුඩය බෙදාගැනීම වැදගත්ය. මෙම ලෝකයට වැදගත්ම පණිවුඩය ශුභාරංචියයි. නමුත් මෙම පණිවුඩය බෙදාගැනීමේදී අවංක කිතුනුවෝ බොහෝ බාධක වලට මුහුණ පායි. මමද එවැන්නෙක් වෙමි. විවිධ වූ පොත් පත් කියවා ශුභාරංචි පණිවුඩය බෙදා ගත හැකි හොඳම ක්‍රම මා කියවා ඇත. නමුත් බයිබලයෙන් කිතුනුවාට දෙන උපදෙස් වලට වඩා සුදුසු වෙන කිසිම උපදෙසක් නැති බව මාගේ අත්දැකීමයි. එසේ මා හට උපකාර වූ බයිබල් පාඨ කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීම සුදුසු බව මා සිතු හෙයින් මෙම ලිපිය ලීවෙමි.

ශුභාරංචි පණිවුඩය බෙදා ගැනීමට අපට (කිතුනුවන්ට ) නියම කරන්නේ, අපගේ ගැළවුම්කාරයාණෝ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේය.

සෑම දේටම ප්‍රථමයෙන් හොඳ සවන් දෙන්නෙක් විය යුතුය. කිතුනු නොවන්නා එන්නාවූ පසුබිම ගැන හොඳින් සිතන්න. වෙනත් ආගමකින් පැමිණෙන්නෙකු, කුඩා කළ සිට එම ආගමේ ඉගැන්වීම් අනුව හැදී වැඩී ඇති බැවින්, ඔවුන්ගේ සිතිවිලි හා තීරණ ඒ අනුව හැඩ ගැසී ඇති බව මතක තබා ගන්න. යේසුස් වහන්සේගේ ගැළවීමේ පණිවුඩය අපට වටිනාසේම, කිතුනුවන් නොවන අයට ඔවුන්ගේ දහම හෝ ලෝක දර්ශනය ඔවුන්ට වැදගත් වේ. එම නිසා ඔවුන්ගේ අදහස් වලට හා තේරුම් ගැනීම් වලට හොඳින් සවන් දෙන්න.


තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසි කරන්නේය (හිතෝපදේශ 18:17)


සැම විටම සත්‍ය කථා කරන්න. බොරුවක් පවසා සත්‍ය ඔප්පු කරන්නට නොසොයන්න. ඔබ යම්කිසි දෙයක් ගැන නොදන්නේ නම් ඒ ගැන තවදුරටත් දැනගන්න. ඔබ යේසුස් වහන්සේට ජීවිතය කැපකිරීමට හේතු වූයේ ඇයි දැයි පවසන්න.


නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය (යොහාන් 8:32)


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩෙහි යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සත්‍ය පැහැදිලි කර දෙන්න (2 තිමෝති 4:2)

යේසුස් ස්වාමීන් වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිස මෘදුකමින් ඔවුන්ට සත්‍ය පැහැදිලි කර දිය යුතුය (2 තිමෝති 2:24-26)


භේදකාර මනුෂ්‍යයා පළමුවෙනි හා දෙවෙනි අවවාදයෙන් පසු අතහැර දමන්න (තීතස් 3:11). ඔවුන් පණිවුඩය ඇසීමට නොව විවාදයට පමණක් සැදී පැහැදී සිටින්නේය. ඔබගේ හිතට බරක් නොදෙන්නට ඔහුගෙන් ඉවත්ව යන්න. ඔවුන් කෙරෙහි ඔබගේ වගකීම සම්පූර්ණය.


සැබෑවේ වචනය හරි ආකාරව දැනගෙන කථා කරන්න (2 තිමෝති 2:15). වෙනත් අය දේව වචනය ගැන කියන්නාවූ දේ නොව, දේව වචනය ගැන ඔබම හොඳින් දැනගෙන ශුභාරංචිය බෙදාගන්න. බයිබල් පද කටපාඩමෙන් දැනගන්න. ශුභාරංචිය ප්‍රකාශ කිරීම කිතුනුවෙකුගේ ජීවිතයේ වැදගත්ම ක්‍රියාවකි. එම නිසා සත්‍ය ප්‍රකාශ කිරීමට ප්‍රථම හොඳින් ඒ ගැන දැනගන්න.



කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් නුඹම ආදර්ශයක් වන්න (1 තිමෝති 4:12). ශුභාරංචිය බයිබලයෙන් දැනගැනීමට පෙර ලෝකයා එය දකින්නේ සැබෑ කිතුනුවාගේ ජීවිතයෙනි (2 කොරින්ති 3:2).


දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)


පව්කරුවෙකු ඔහුගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව දැනගන්න (යාකොබ් 5:20)


තවත් වැදගත් අවවාදයක් නම් ඔබගේ ඇදහිල්ලයි. ඔබ විශ්වාස නොකරන්නාවූ දේ අන් අයට නොකියන්න. මෙය නාමික කිතුනුවෝ කිරීම නිසා බොහෝ විට කිතුනු ගැළවීම ගැන වැරදි මත අන්‍යභක්තිකයන් තුල හට ගෙන ඇත. ප්‍රථමයෙන් ඔබ ගැළවීම ලබා ඇත්දැයි හදවත සෝදිසි කරගන්න. ස්ථිරව දැනගෙන මිස අඩියක්වත් ඉදිරියට නොතබන්න. සමහරුන් ආගම් ගැන විවාද කරගනිමින් කුඩා ළමුන් මෙන්, "මගේ ආගම ශ්‍රේෂ්ථයි" ද, ඉන්පසු තව කෙනෙක්, "නෑ මගේ  ආගම ශ්‍රේෂ්ථයි" ද කියා ගනීයි. සත්‍ය වනාහි ස්ථිරව පවතී. එය එකම සත්‍යයි. කුඩා ළමුන්සේ නොහැසිරෙන්න.



අවසානයෙන් - ප්‍රතිඵලය දෙවියන්වහන්සේගේ හස්තයේ තබන්න. ඔබට කිසිම කෙනෙකු ගළවාගත නොහැකි බව කලින්ම දැන හිත හදාගන්න. ශුභාරංචිය බෙදාගන්න. ශුද්ධාත්මයාණන්ට ක්‍රියා කරන්නට ඉඩ දෙන්න (යොහාන් 16:5-16). ගැළවීම ලබන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයටය. උන්වහන්සේ තමන්ව ප්‍රතික්ෂේප කරන්නා කල්තියාම දන්නා සේක (2 කොරින්ති 4:3). 


ඔබට ජේසු පිහිටයි!


Monday, May 7, 2012

දෙවියන් වහන්සේගේ කැමැත්ත

බයිබල් පාඨය: මතෙව් 6:5-14


ස්වාමීන්ගේ යාච්ඤාව බොහෝ කිතුනුවෝ කටපාඩමින් දන්නාවූ බයිබල් කොටසකි. නමුත් එය තේරුම්ගන්නාවූ අය ඉන්නේ කීයෙන් කී දෙනාද?


ස්වාමීන්ගේ යාච්ඤාව තුල මා ඇතුළු බහුතරයක් කිතුනුවෝ මඟ හරින්නාවූ කොටසක් ගැන අවධානය යොමු කිරීමට මම සිතුවෙමි. මීට හේතුව නම් පසුගිය සතිය තුළ මටත් මාගේ බිරිඳටත් පවුලක් හැටියට මුහුණ පෑමට සිදුවූ කුණාටුවක් නිසාය.


බොහෝ කිතුනුවන් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ තමන්ගේ මනසේ සීමාවට යටත්වය. මමද මෙම දුර්වලකමට යටත් වේ. බොහෝ විට දෙවියන්වහන්සේ අපගේ උවමනා එපාකම් පමණක් සැපයීමට සිටින බව මිනිසුන්ගේ විශ්වාසයයි. මෙය පොදුවේ බොහෝ මිත්‍යා ආගම්වල මිනිසා මවාගත් දෙවිවරුන්ගේ එකම කාර්යයයි. 


ඔබගේ රාජ්‍ය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළොවේද ඉටුවේවා (මතෙව් 6:10) යයි ස්වාමීන්ගේ යාච්ඤාවේ සඳහන් වන පදය ගැන අප කී දෙනෙක්ගේ අවධානය යොමුවනවාද?


අප කී දෙනෙක් එම පදයට කීකරු වනවාද? එසේ වනවානම් අප සැබෑ කිතුනුවෝ වන්නෝය. දෙවියන්වහන්සේගේ රාජ්‍ය ළඟම පැමිණෙන බව ඔබ දන්නවාද? මිනිස් යුගයේ අවසානයත්, සියළු මිනිස් වර්ගයා විනිශ්චයට යේසුස්වහන්සේ එන දවසත් අත ළඟය. එසේනම් සැබෑ කිතුනුවා සෑමදාම මේ අපේක්ෂාවෙන් සිටිය යුතුය. සෑමදාම මෙම නැවත පැමිණීමට අපගේ ජීවිත සූදානම්ව සිටිය යුතුය.


කිතුනුවනි! දෙවියන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ, ඔබගේ ජීවිතයේ ඉශ්ට වනවාට ඔබ කැමැතිද? මෙම කැමැත්ත බොහෝ අවස්ථාවල අපගේ කැමැත්තට හා සිතිවිලි වලට විරුද්ධය. "දෙවියො දෙන වෙලාවට දෙයි" කියා කවුරුත් ඔබට කියා තිබෙනවාද? එසේ කියන්නෝ දෙවියන්වහන්සේගේ කැමැත්ත නොදන්නා වූද දේව වචනය (බයිබලය ) හරි හැටි නොදන්නාවූද අයවේ. මම මෙසේ කියන්නේ ඇයි? සමහර විට දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට අවශ්‍ය දේම නොවේ. සමාන්‍ය සම්මතයට අනුව සෑම කෙනෙකුටම පොදු ලෙස සෑම ආශිර්වාදයක්ම නොලැබේ. එයින් දෙවියන්වහන්සේ අදහස් කරන්නේ අපට හානියක් කිරීමට නොව අපගේ යහපතත්, අප තුලින් උන්වහන්සේව ගෞරවයටත් ලක් කරගැනීමය.


සෑම කිතුනුවෙකුම ජීවත්වන්නේ දෙවියන්වහන්සේව ගෞරවයටත්, මහිමයටත් ලක් කිරීමටය. යේසුස් වහන්සේ මෙලොවදී කල සෑම දේම, ඉගැන්වීමක් වේවා, සුව කිරීමක් වේවා, හාස්කමක් වේවා, කලේ දෙවියන්වහන්සේව ගෞරවයට ලක් කරන පිණිසය (යොහාන් 17:1). සෑම කිතුනුවෙකුම තමන්ගේ ජීවිතය ගැන මෙම ආකල්පයෙන් සිටිය යුතුය. 


අපහසු කාර්යයන් සෑම කෙනෙකුටම කළ නොහැකිය. දෙවියන්වහන්සේ එවන් අවස්ථා වලදී තමන් වහන්සේගේ කැමැත්ත කිරීමට තරම් හැකියාවක් ඇති හදවත එම අපහසු කාර්යය කිරීමට යොදවනවා බයිබලය පුරාවට අප දැකගත හැක. 


එම නිසා සාමාන්‍ය කෙනෙකු ලබන අශිර්වාදයක් ඔබට සිදුවීමට කල් ගත වන විට, ඔබ යාච්ඤාවට යොමුවන්න. අධෛර්යමත් නොවන්න. දෙවියන්වහන්සේගේ සැලැස්ම සහමුලින්ම වෙනස් එකක් විය හැකිය. සමහර විට ඔබගේ ඇදහිල්ලත්, ඉවසිලිවන්තකමත් ඔබටම පෙන්වනුවස් උන්වහන්සේ යම් කිසි අශිර්වාදයක් ඔබට නොදී සිටීමට පුළුවන. ඔබ දේව කැමැත්ත දැනගත යුතුය. සමහර අවස්ථාවන්හීදී ඔබව උන්වහන්සේට අවශ්‍ය තවත් මාර්ගයකට ඔබව යොමුකරණවා ඇත. එවිට ඔබ සන්සුන්ව උන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. ඔබට අවශ්‍ය යයි ඔබ සිතු දේට වඩා උන්වහන්සේ ඔබව ගෙන යන තැන ඔබට මහත් ප්‍රීතියක් ගෙන දෙනවා නොඅනුමාණය. මක්නිසාද දෙවියන්වහන්සේට කීකරු වන්නා සමඟ උන්වහන්සේ සදහටම සිටින සේක. 


කිසිම දිනක දෙවියන්වහන්සේගේ කැමැත්තට අකමැති වී ඔබගේම කැමැත්තම නොඉල්ලන්න. දෙවියන්වහන්සේ ඔබට ආදරය කරන නිසා ඔබට කිසිම දිනක අයහපතක් නොකරණ සේක. ඔබගේ කැමැත්තද දෙවියන්වහන්සේට දිය හැකිය. ඔබ වඩ වඩාත් ඉල්ලන්නේ එයම නම්, එම කැමැත්ත සමහර විට ඔබට ලැබෙනු ඇත. නමුත් එහි ප්‍රතිඵලය කණගාටුවෙන් අවසාන වනු ඇත. නැතහොත් එහි ප්‍රීතිය දෙවියන්වහන්සේගේ කැමැත්තවූ මාර්ගයට වඩා අඩු වනු ඇත. 


කිතුනුවකු හැටියට සාමාන්‍ය ජීවිතයකට හුරු නොවන්න. සැබෑ කිතුනුවාගේ ජීවිතය අභියෝග වලට නිර්භීතව මුහුණ දෙන ජීවිතයක් විය යුතුය. එය කිතුනුවාට සැබෑ ප්‍රීතිය හා සාමයද දෙවියන්වහන්සේගේ සිතට ප්‍රීතිය හා ඔබ ගැන ආඩම්භරයක්ද, උන්වහන්සේගේ නාමයට ගෞරවයද, ප්‍රශංසාව හා මහිමයද ගෙනෙනු ඇත.


සමාජ සම්මතයට හැඩ නොගැසෙන්න (රෝම 12:2). දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක් දැයි සොයන්න. එවිට ඔබ සැබෑ අර්ථවත් ජීවිතයක් අත්දකිනවා ඇත (යොහාන් 10:10).

Thursday, May 3, 2012

ක්‍රියාකාරී දේව භක්තිය

බයිබල් පාඨය - 2 ලේකම් 34:1-3 දක්වා

ඔබ ක්‍රියාකාරී කිතුනුවෙක්ද? මොහොතකට අපගේ කිතුනු ජීවිතය පිරික්සමු. ඔබ කිතුනුවකු වූ දිනය, එනම් සැබෑ සිතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැළවුම්කාරයාණන් හා ස්වාමීන් ලෙස පිළිගත් දිනය ඔබට මනකද? එම දිනය අපගේ උපන් දිනයටත් වඩා වැද්ගත්ය.

ඔබ කිතුනු පවුලක ඉපදීමම පමණක් ඇතැයි සිතන්නකු නොවන බව මම සිතමි. කිතුනු පවුලක ඉපදීම ඔබට අශිර්වාදමත් ආත්මික පසුබිමක් සාදනවා මිස, ඔබ දේව දරුකමට ලක් කිරීමට නොහැක. දේව දරුකම හිමිවීමට ඔබ නැවත ඉපදිය යුතුය.

වරක් යේසුස් වහන්සේව රහසිගතව හමුවීමට පැමිණි, දේව ධර්මාචාර්යවරයකුට උන් වහන්සේ මෙසේ පැවසූ සේක. "සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකිය" (ශු.යොහාන් 3:3). දේව ධර්මාචාර්යවරයකුට තත්වය එසේ නම්, ඔබටත් මටත් වන්නේ කුමක්ද? එම නිසා ආත්මයාණන් කරණකොටගෙන නැවත නූපන්නොත් (ශු.යොහාන් 3:5-6), අප දේව දරුවන් ලෙස කියමින් අප අපවම රවටා ගන්නවා ඇත.


මා කෙටියෙන් පැහැදිලි කරේ කිතුනුවෙකු ලෙස ඔබ නැවත උපන්නේද නැත්ද යයි ඔබම සැකයෙන් තොරව වටහා ගන්නා පිණිසය.



දැන් නැවත දවසේ පාඩම. අප සැබැවින්ම කිතුනුවන් වූ දිනය සුමිහිර මතක සටහනකි. නමුත් එදා සිට අද දක්වා අපගේ ආත්මික වර්ධනට කෙබඳුද? 


ඉහත බයිබල් පාඨයේ අපට යොෂියා නම් රජ කෙනෙකු හමුවේ. මොහුගේ පවුල් පසුබිම හා සමඟ සසදන කල ඔහුගේ ජීවිත ගමන් මඟ ගැන ඔහු ගත් තීරණ සුවිශේෂය. යොෂියාගේ පියා දෙවියන්වහන්සේට විරුද්ධව මහත් පාව්කාර ලෙස ජීවතවූ රජ කෙනෙකු විය. ඔහුගේ සීයා ඊටත් වඩා පාව්කාර රාජ්‍ය පාලකයකු විය. මෙවන් පසුබිමක උපන් යොෂියා පුදුමාකාර තීරණයක් කුඩා අවදියේම ගත් බව 2 ලේකම පොතේ ඉතිහාස කර්තෘ වාර්තා කර ඇත.

‍යොෂියා වයස අවුරුදු 8 දී රජකමට පත්විය (2 ලේකම් 34:1). ඔහු ස්වාමීවූ දෙවියන්වහන්සේගේ ඉදිරෙයෙහි හරිව තිබුණ දේ කරමින්, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ ආදි පියෙකු වූ දාවිත් රජුගේ මාර්ගවල හැසුරුණේය (2 ලේකම් 34:2). දාවිත් රජු ගැන අමුතුවෙන් කිවයුතු නැත. 1 හා 2 සාමුවෙල් පොත් වල දාවිත් රජුගේ ක්‍රියා සඳහන් වේ. "මාගේ හිතට එකඟවූ මනුෂ්‍යයෙකු" ලෙස දෙවියන්වහන්සේම දාවිත් රජු ගැන 1 සාමුවෙල් 13:13-14 යන කොටසේ පවසා ඇත. මෙම ගෞරවය ලද බයිබලයේ එකම මිනිසා මොහුය. හොෂියා, දාවිත්ගේ මාර්ගවල හැසුරුණා යයි පැවසීමේ අදහස දැන් ඔබට වැටහෙනවා ඇත.

හොෂියාගේ ඇදහිල්ල ගැන ඔහුගේ ක්‍රියා සාක්ෂි දරයි. ඔහුගේ රජකම්කිරීමේ 8 වැනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, දෙවියන්වහන්සේ සොයන්නට ඔහු පටන් ගෙන ඇත (2 ලේකම් 34:3). මෙය සෑම කිතුනුවෙකුගේම ආරම්භක අවස්ථාවයි. එනම් තමන්ව මව්කුසේ මවන ලද්දාවූ දෙවියන්වහන්සේව සැබෑ සිතින් සෙවීමට පටන් ගැන්මයි.

හොෂියා රජ දෙවියන්වහන්සේව දැනගැන්මට එකල පැවතියේ පරණ ගිවිසුමේ ලියැවිලිය. දෙවියන්වහන්සේ ගැන පැහැදීමට හොෂියා රජට ගත වූයේ වසර හතරක් පමණි. මක්නිසාද ඔහුගේ රාජකාලයේ 12 වන වසරේ, ඔහු හඳුනාගත් දෙවියන්වහන්සේට ගෞරව කිරීමට හොෂියා රජ පියවර ගත්තේය.

2 ලේකම් 34 පරිච්ඡේදය පුරාවට ඔහුගේ කීකරුකම, පසුතැවිල්ල, දේව ප්‍රේමය පිළිබඳ ඔහුගේ ක්‍රියා සාක්ෂි දරයි. ඔහුගේ කීකරුකම රහසක් නොවීය. ජුදා (වත්මන් ඉශ්‍රායලයේ කොටසක්) රාජධානිය සම්පූර්ණයෙන්ම ආත්මිකව පිරිසිදු කිරීමට ඔහු පියවර ගත්තේය.

දැන් අපගේ ජීවිත පරික්ෂා කර ගනිමු. ඔබ  දෙවියන්වහන්සේ හඳුනාගෙන කොපමණ කල්ද? හොෂියාට ඔහුගේ භක්තිය මත ක්‍රියා කිරීමට ගතවූයේ වසර 4 ක් පමණි. ඔහු දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට අවශ්‍ය සියළු දේ දැනගෙන සිටියේ නැත. දැනගත් දේ තුලින් ඔහු ක්‍රියාත්මක විය.

2 ලේකම් 34 පරිච්ඡේදය කියවන්න. ඔහු ඔහුගේ ආත්මික වර්ධනය පමණක් නොව, ඔහුගේ රාජධානියේ වැසියන් ද සැබෑ දෙවියන්වහන්සේ වෙත ලන්කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා ඔහුට කොහෙත්ම පහසු නොවීය. ඔහුගේ පියාත්, සීයාත් ගොඩනඟා තිබූ ජීවිත රටාව හා පසුබිමට ඔහුට සම්පූර්ණයෙන් විරුද්ධවන්නට සිදුවිය.

දෙවියන්වහන්සේ සමඟ බැඳෙන්නාගේ ඉරණම මෙයයි. දේව ප්‍රේමයෙහි සත්‍ය ඔබ වටහා ගත්තේ නම්, ඒ ගැන ඔබ ගත් තීරණ මොනවාද? ඔබගේ දේව භක්තිය රහසක්ද? එසේනම් එය සත්‍යවූ දේව භක්තියක් නොවනු ඇත.  ඔබගේ ජීවිතයේ තවමත් තිබෙන දේව විරෝදී ගතිගුණ ගැන ඔබ ගත් පියවර මොනවාද? අදම ඔබ අධිශ්ඨාන කරගන්න. දෙවියන්වහන්සේ ඔබගේ ශක්තියත්, සමාදානයත් වනු ඇත.

"නුඹලා යුක්තිය පවත්වා ධර්මිශ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්නටත් මාගේ ධර්මිශ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගෙන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයා වාසනාවන්තය" (යෙසායා 56:1-2)