Monday, June 18, 2012

ඔබ සැබෑ කිතුනුවෙක්ද?

ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ උපන්නේ කිතුනු යයි කියන පවුලක නිසා ඔබ ක්‍රිස්තියානුවෙක්ද? නැතහොත් ඔබ දේව වචනය අසා විශ්වාස කොට පසුතැවී, යේසුස්වහන්සේව ඔබේ පෞද්ගලික ගැළවුම්කාරයාණෝ ලෙස පිළිගෙන ඔබගේ ජීවිතයේ ස්වාමීත්ව උන්වහන්සේට දී තිබෙනවාද? නැත්නම් ක්‍රිස්තියානි කියන්නේ ඔබට තවත් එක් ආගමක් පමණද?

සැබැවින්ම කිතුනුවකු කියා ඔබට කියාගැනීමට අයිතිය තිබෙනවාද?

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. (නික්මයාම 20:7)


මෙම ලිපිය විශේෂයෙන්ම ක්‍රිස්තියානි නාමය දරන්නෝ වෙත ආමන්ත්‍රණය කරමි. මීට මා ද අයත් වේ. කිතුනු ජීවිතයට අදාල කරුණු කිහිපයක් සිහි කිරීම තුලින් ඔබගේ හා මාගේ ක්‍රිස්තියානි කම ගැන අවදානය යොමු කරන්නට කැමැත්තේමි.

ගැළවීම 

ඔබගේ ගැළවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? යේසුස් වහන්සේ මිනිසා පාපයෙන් ගළවා ගන්නට මෙලොවට පැමිණි බව ඔබ විශ්වාස කරනවාද? 

ඔබ එසේ පිළිගන්නකු නොවේ නම්, ඔබ කිතුනුවෙකු නොවේ. ඔබව රවටා නොගන්න. ඔබගේ ඉරණම සුභදායී නොවේ. ඔබ යේසුස් වහන්සේ ගැන සත්‍ය දැනගත යුතුමය.

උන්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් හැටියට පිළිගෙන තිබෙනවාද? එය ඔබ නිසැකව විශ්වාස කරනවාද? එසේනම් ඔබ යේසුස් වහන්සේ ගැන කී දෙනෙකුට කියා තිබෙනවාද? සැබැවින්ම යම් කිසි රෝගයකට සාත්තු කර හැකි හොඳ වෛද්‍යවරයෙකු ඔබ දන්නවා නම්, එම රෝගයෙන් පෙළෙන ඔබේ හිතවතෙකුට ඔහු ගැන කියනවා නොවේද? එසේනම් පාපයේ අවසන් ප්‍රතිඵලය දන්නාවූ ඔබ, එයින් සුවය ලැබීම ගැන එය නොදත් ඔබේ හිතවතුන්ට නොකියන්නේ මන්ද?

නිදහසට ඇත්තේ කාරණා දෙකක් පමණි.

1. ඔබ යේසුස්වහන්සේගේ ගැළවීමේ ගැඹුර හරි හැටි නොදන්නා නිසාය. එසේනම් ඔබගේ ගැළවීම සැක සහිත පමණක් නොව, එය අවලංගුය! මෙය භයානක තත්වයකි.

2. නැතහොත් තවත් කෙනෙකුට යේසුස් වහන්සේ ගැන කීමට ලැජ්ජාව.
යමෙක් මා ගැනත් මාගේ වචනය ගැනත් ලැජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදුතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වන සේක (ශු. ලූක් 9:26)

යාච්ඤාව 

ඔබගේ යාච්ඤාව මොනවගේද? ඔබ යාච්ඤා කරන්නේ මොනවා ගැනද?
නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත (යාකොබ් 4:3)
යාච්ඤාවට ඔබේ උනන්දුව කෙසේද?
නුඹලා පරික්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නමුත් මංසය බෙලහීනය (ශු. මතෙව් 26:41) 
යාච්ඤා කරන විට ඔබට නිදිමත හැදෙනවාද? ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබගේ උනන්දුව ගැන සාක්ෂියයි. ඔබ නොකඩව යාච්ඤා කරනවාද? (1 තෙසලෝනික 5:17) යාච්ඤාවට උනන්දුවක් නැත්නම්, එය යාච්ඤාවේ බලය ගැන විශ්වාසයක් නැති බව පෙන්නුම් කරයි.
සැක නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා; මක්නිසාද සැක කරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙළවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය (යාකොබ් 1:6-8)

අපේක්ෂාව

ඔබගේ දැඩි අපේක්ෂාව කුමක් සඳහාද? ධනවත් වීමද, ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමද, හැමෝගේම ආදරය ප්‍රසාදය දිනාගැනීමද, රූප සුන්දරියක් විවාහ කර ගැනීමද, ක්‍රිකට් තරුවක් සහකරුවෙකු කර ගැනීමද? සැබැවින්ම බයිබලය කියවන්නා කුමක් සඳහා අපේක්ෂා කළ යුතුද?
ආත්මික දීමනාවලට ආශාවෙන්න (1 කොරින්ති 14:1)
ප්‍රඥාවේ වචනය (Wisdom), දැනගැනීමේ වචනය (knowledge), ඇදහිල්ල (Faith), සුවකිරීමේ දීමනාව (Healing), ආශ්චර්ය කිරීම (Miracles), අනාගතවාක්‍ය කීම (Prophecy), ආත්මවල් විමසීම (Distinguishing spirits), නානා වර්ග භාෂා (Tongues), භාෂා තේරුම් කරදීම යන දීමනා කිතුනුවන්ට කොපමණ අවශ්‍යද?

නමුත් කිතුනුවෝ කී දෙනෙක් මෙම දීමනා උදෙසා යාච්ඤා කරනවාද? ඔබ අත තබා යාච්ඤා කරවිට කෙනෙකු සුව වනවා දකින්නට ඔබ කැමති නැද්ද? දෙවියන්වහන්සේට දේවදූත භාෂාවකින් ප්‍රශංසා කිරීමට ඔබ අකමැතිද? කිතුනු නොවන්නෙකුගේ හිතේ ඇති සැඟවුණු ප්‍රශ්නයක් ඔහුට එළිදරව් කර දෙවියන්වහන්සේගෙන් ඔහුට උපකාර ලබාදීමට ඔබ අකමැතිද? මෙවන් දේ ඔබ ඉල්ලුවහොත් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට එම දීමනා දෙන්නට සතුටින් බලා සිටීයි. යමක් උවමනා අය එය ඉල්ලිය යුතුය. එසේනම් ආත්මික ලොවේද එහි වෙනසක් නැත.

ආඥා රැකීම

ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරනවාද? මේක උතුම් වූ පළමුවෙනිවූ ආඥාවය. නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ඔබ ප්‍රේමකරනවාද? මෙය කිතුනු ජීවිතය පදනම් වන ආඥා දෙකයි. ඔබ මේ ආඥා දිනපතා ක්‍රියාත්මක කරනවාද?

බයිබල් අධ්‍යනය


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිශ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමෝති 3:16) එසේනම් බයිබලය අධ්‍යනය නොකරන්නාට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සම්පූර්ණකමට පැමිණිය නොහැක.

මේ ගැන අදම අපි පියවර ගත යුතු වෙමු.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.