Monday, August 13, 2012

බොරු දැහැමිභාවය

නුඹලා අතරෙහි ප්‍රඥාවන්තවූ තේරුම් ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. නුමුත් නුඹලාගේ සිත්වල තිත්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදීකමද තිබේ නම්, පාරට්ටු කරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය. (යාකොබ් 3:13-16)


බොහෝ ආගමික භක්තිවතුන් ලොව වෙතත්, එයින් බහුතරයක් සිටින්නේ කටින් බතල හිටවන්නෝය. මමත් මේ ගැන වැරදිකරුවෙකු වෙමි.

මිනිසුන් සියල්ලෝම සිතින් ඒකාකාරය. ඔවුන් සිතන්නේ ඔවුන් ගැනමය. ආගමික සුදු රෙද්දක් පිටින් පොරවාගෙන ලෝකයට දැහැමි යයි පෙන්වන්නට බොහෝ අය කැමතිවේ. අප කොපමණ හොඳ දැයි පෙන්වන්නට සියල්ලෝ වෙර දරති. නමුත් දෙවියන්වහන්සේ මිනිසුන්ගේ දුෂ්ට සිත් හොඳින් දන්නා සේක. පිටස්තර ක්‍රියාවලට සීමා වූ යහපත්කම දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුල්ය.

පිටින් භක්තිවන්තයා අන් අය කෙරේ ඊර්ෂ්‍යාව සහිත වීම ඉතාමත් දූෂිතය. තවද පක්ෂවාදිකම, එනම් එක් පිරිසකට එක් ආකාරයකටත්, තවත් තරාතිරමක පිරිසකට තව ආකාරයටත් සැලකීම සැබෑ ධර්මිශ්ඨකම නොවේ. මෙවන් නපුරු ආත්මාර්ථකාමි සිතුවිලි ඇතුව ඕනෑම ආගමිකයකු භක්තිවන්තයෙකු යයි කිව නොහැක. එම නිසා බොරුව නොකරන්න. "ජේසු පිහිටයි!" කටින් කියමින් සිතින් තමන් ගැන පමණක් සිතීම අත් හරින්න.


දෙවියන් වහන්සේ ප්‍රසන්නවන ස්වර්ගික පුරවැසියකුගේ හැසිරීම මෙසේ බයිබලය සඳහන් කරයි. "ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත්, යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදීව, අවංකව තිබේ. (යාකොබ් 3:17)

එසේනම් කිතුනුවනි මෙවන් ධර්මිෂ්ඨකමක් අත්කර ගැනීමට අප සියල්ලෝම අද සිට උත්සාහ කරමු.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.