Thursday, September 6, 2012

සම්ප්‍රදායික හා සැබෑ කිතුනුකම

සාම්ප්‍රදායික කිතුනුකම හා සැබෑ කිතුනුකම අද ලෝව කිතුනු භක්තිවතුන් බෙදෙන්නාවූ කොටස් දෙකකි. මෙය කතෝලික සභාවට නොව කතෝලික නොවන සභාවටද බලපායි. ඔබ වැටෙන්නේ මේ කුමන කාණ්ඩයටද? මෙම කාණ්ඩ දෙක අතර ඇති වැදගත්කම කුමක්ද?

සාම්ප්‍රදායික කිතුනුවෝ යනු උපතින් කිතුනු පවුලකට අයත් වන පුද්ගලයින්ය. මොවුන් කිතුනු දහම ගැන දන්නේ සම්ප්‍රදායන් පමණි. කිතුනු ආගමික පොත වන බයිබලය, දෙවියන්වහන්සේගේම වචනය වන්නේ කෙසේදැයි මොවුන් දන්නේ නැත. දේසේ හැටියට වාසේ මෙන් මොවුහූ ඉරුදින පල්ලියටද යයි. දේශනා අසන මොවුහූ, එය යම්කිසි ශුද්ධ කමක් තමනට ගෙන දෙන බව සිතති.

අද පවතින පල්ලිවලින් බහුතරයක්ම උගන්වන්නේ මිනිස් සම්ප්‍රදායන් මිස දෙවියන්වහන්සේ කැමැත්ත නොවේ. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගන්නාවූ එකම මඟ නම් උන්වහන්සේ විසින් එළිදරව් කරන ලද පණිවුඩය, එනම් බයිබලය කියවීමයි.

මිනිසා පාපයට වැටුනු දින සිට කරන්නේම මිනිසාට උවමනා දෙය පමණක්ය. මිනිස් සම්ප්‍රදායන් දෙවියන්වහන්සේගේ ආඥා කඩ වන පිණිස බොහෝ දේවස්ථාන පවත්වයි. සම්ප්‍රදායික කිතුනුවෝ මේ කිසිවක් නොදැන ඔහේ යන මඟ යයි. මෙසේ නොවන්න.

සැබෑ කිතුනුවා යනු බයිබලය කියවා, එහි ඇති දේ සත්‍යද අසත්‍යදැයි සොයා, සත්‍ය නම් ඒ අනුව තම ජීවිතයම හැඩගස්වා ගන්නා වූ පුද්ගලයාය.


දෙවියන්වහන්සේගේ වචනය කථාවට පමණක් සීමාවූවක් නොව බලයෙන් පිරුණු අත්දැකීමක් බව 1 කොරින්ති 4:20 හි සඳහන් වේ. සැබෑ කිතුනුවා හා ලෞකික මිනිසා අතර වෙනස පැහැදිලිව දැක ගත හැකි විය යුතුය. ඒ තමන් අඳින පළඳින දෙයින් නොව, තමන්ගේ ජීවිතය හා චරිතයෙනි.

කිතුනු ජීවිතය බලයෙන් පූර්ණ ජීවිතයකි. මෙම බලය දෙන්නේ දෙවියන්වහන්සේය. එම බලය ලබා ගැනීමට නාමික හෝ සම්ප්‍රදායික කිතුනුවෝ උත්සාහ නොකරති. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙකු වීම තුලින් ජීවිත වෙනසක් ඔවුහූ අත්දකින්නේ නැත. සාම්ප්‍රදායික කිතුනුවා මෙලොව ආකාරයට හැඩ ගැසෙන්නේ තමන් කිසිදා මිය නොයන ලෙසය.


සැබෑ කිතුනුවා තමන් කවුද, තමන් යන්නේ කොහිදැයි දනී.

එම නිසා ඔබට මෙලොව ලැබී ඇති කාලය නාස්ති නොකරන්න. බයිබලය අතට ගෙන කියවන්න. එහි සත්‍ය අසත්‍යතාව සොයා බලන්න. එය යම් කිසි ලෙස අසත්‍ය නම් ඔබ කිතුනු යයි කියාගැනීමෙන් පලක් නැත. පල්ලි නොගොස් ගෙදර වැඩ පළක් බලා සිටීම ඊටත් වඩා පළදායී වනු ඇත.

සම්ප්‍රදායන් අත් අරින්න. ඒවා පැමිණුනේ කොයින්දැයි සොයාබැලීම තුලින් ඔබ මවිතයට පත්වනු ඇත. යහපත් දේ සැම විටම යහපත්ය. එසේ නම් අදම තීරණයක් ගන්න. ඔබගේ විශ්වාසයන් සත්‍ය දැයි සොයා බලන්න.